රටේ දියුණුවන ආර්ථිකයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවටද හිමි විය යුතුයි කිසිවිටෙකත් එම වගකීමෙන් බැහැර වන්නේ නැහැ

වෘත්තීය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමඟ පැවති හමුවේ දී ජනපති පවසයි.

  • ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය දියුණුව පිළිබඳ යෝජනාවලියක් ජනපතිට.
  • ත්‍රිරෝද රථ වෙනුවෙන් නව ජංගම යෙදුමක් ඉදිරි දින කිහිපය තුළ – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා.

යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කරන අතරම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ ඊයේ (18) වෘත්තීය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමඟ පැවති හමුවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව ලබා තිබෙන ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ද හිමි විය යුතු බවයි. එම වගකීමෙන් කිසිවිටෙකත් බැහැර නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩකොටසක් රජය මේ වන විට ඉටු කර තිබෙන බවද සඳහන් කළේය.

ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු අදහස් හා යෝජනා ඇතුළත් සංදේශයක් ප්‍රවාහන සංගම්හි නියෝජිතයන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාරදීම ද සිදුවිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගය බවට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයි. එක පැත්තකින් ගොවිතැන් කටයුතු කරනවා. අනෙක් පැත්තෙන් ත්‍රිරෝද රථ ධාවනය කිරීමෙන් ආදායම් උපයා ගන්නවා. 2022 – 2023 යල කන්නවලදි අපට හොඳ අස්වැන්නක් ලැබුණා. ඊට පසුව මහ කන්නයේදීත් හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුණා. 2023-2024 වසරවලදිත් හොඳ අස්වැන්නක් හිමි වුණා. ඒ අනුව ගොවි ජනතාවගේ අතේ මුදල් ගැවෙසන්න පටන් ගත්තා. ගොවීන්ගේ වෙළෙඳාම දියුණු වීමත් සමඟ ගමනාගමනය වැඩි වුණා.

2023 වසරේදී විදෙස් සංචාරකයන් මෙරටට පැමිණෙන්න පටන් ගත්තා. සංචාරකයන් පැමිණෙන නිසා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආර්ථිකය ශක්තිමත් වුණා. එක පැත්තකින් ගොවීන් ආහාර වගා කරන්න උදව් කරනවා, අනික් පැත්තකින් ත්‍රිරෝද රථ රියැදුරන් සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබනවා. මේ අංශ දෙක තුළින් රටේ ආර්ථිකය නැවත ශක්තිමත් වීමට පටන් ගත්තා. මෙම ආර්ථික දියුණුව නිසා තමයි වසර දෙකක් අවසන් වීමට පෙර අපේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට හැකියාව ලැබුණේ. වෙන කිසිඳු රටක් මෙවැනි කෙටි කාලයක් තුළ බංකොලොත්භාවයෙන් මිදී නැහැ. නමුත් බංකොලොත් භාවයෙන් නිදහස් වන අතරම ඩොලර් බිලියන 08ක පමණ ණය සහනයක් ලබා ගැනීමට අපට හැකි වුණා.

අද රට යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. අප දැන් මෙතනින් ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ක්‍රියාත්මක කරනේ නැත්නම් රටේ ආර්ථිකය යළි කඩා වැටෙන්නේ නැතිව ඉදිරියට ගෙන යා හැකි වෙනත් විකල්පයක් තිබෙනවද? අප සියලුදෙනා ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළයුතුයි.

විශේෂයෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය දියුණුව පිළිබඳ මෙහිදී යෝජනා රැසක් ඉදිරිපත් කළා. අපි එම යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කළයුතුයි. එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මෙම වෘත්තියට සම්බන්ධ සංගම් සමඟත් අපට සාකච්ඡා කිරීමට සිදු වෙනවා. මේ වෘත්තියට වෘත්තීය රීති අවශ්‍යයි. වෘත්තීය රීති තිබිය යුතු බවට අප පිළිගන්නවා. ඒ වැඩ කටයුතු කරන ආකාරය ඔබ තීරණය කරන්න. සුබසාධනය ගැනත් අවධානය යොමු කළ යුතුයි.

අනාගතයේදී විශේෂයෙන්ම දේශගුණ විපර්යාස නිසා විදුලි වාහන කෙරෙහි අවධානය යොමු කරන විට මේ තිබෙන වාහනවලට ලබාදෙන සහනය කුමක්ද යන්න පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඒ සියල්ලම තවම ලෝකයේ පවතින්නේ මූලික අදියරකයි. ලෝකයේ රටවල් මේ සම්බන්ධව අත්හදා බැලීම්වල නිරතව සිටිනවා. අප ලෝකය දෙස බලා ඒ අනුව කටයුතු කළයුතුයි.

ඒ වගේම රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට දෙස් විදෙස් ආයෝජකයන් අවශ්‍යයි. ඒ තුළින් රැකියා අවස්ථා ඉහළ නංවා ගැනීමට මෙන්ම අපනයන ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ආර්ථික දියුණුව ඇති වන විට පසුගිය අර්බුදය හමුවේ දුක් විඳි ජනතාව අප අමතක නොකළ යුතුයි. මේ රටේ සාමාන්‍ය ජනතාවටත් මෙම ආර්ථික දියුණුවේ ප්‍රතිලාභ ලබාදිමට මගේ ප්‍රමුඛ අවධානය යොමුව තිබෙන බව කිවයුතුයි. එම ජනතාව වෙනුවෙන් අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. එහිදි මෙතෙක් සුබසාධන ප්‍රතිලාභ වෙනුවෙන් වෙන් කර තිබූ මුදල් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කිරීමට මෙන්ම ප්‍රතිලාභී සංඛ්‍යාව ඉහළ නැංවිමට කටයුතු කළා.

පසුගිය අලුත් අවුරුදු සමයේ එම ජනතාව වෙනුවෙන් මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් ලබා දුන්නා. ඒ වගේම ඔවුන්ට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. නගරයේ මහල් නිවාසවල ජිවත්වන ජනාතාවට එම නිවාසවල අයිතිය ලබාදීමට කටයුතු කළා. ඒ වගේම වතුකරයේ ගම්මාන ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සියලු කාර්යයන් ඉටු කළේ මේ රටේ සාමාන්‍ය ජනතාව නඟා සිටුවීමේ අරමුණ ඇතිවයි.

රටේ නව ආයෝජන සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට අප ආරාධනා කරනවා. එසේම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සාමාන්‍ය ජනතාව නගා සිටුවීමේ වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව කිවයුතුයි.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී ත්‍රිරෝද රථ රියැදුරන්ද අමතක කර නැහැ. අපි මේ ගෙන යන ආර්ථික ක්‍රමවේදය නතර කළහොත් කුමක්ද සිදුවන්නේ? ණය දෙන කොන්දේසි කැඩුවොත් මොකද වෙන්නේ ? මේ ගැනද සිතා බැලිය යුතුයි. අපි අද වැදගත් සංධිස්ථානයකට පැමිණ තිබෙනවා. අපි ආර්ථික වශයෙන් දියුණුවක් ලැබීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදළේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි. අප සියලුදෙනා මේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමු කියා ඉල්ලා සිටිනවා.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා,

අද රට නිසි මාර්ගයක ගමන් කරමින් සිටින නිසා වෘත්තීය රියැදුරන් වශයෙන් ඔබ සංගම් කිහිපයක් එකතුව නව ප්‍රවාහන සංගමයක් පිහිටුවනු ලැබුවා. එක් ආර්ථික ප්‍රතිපත්තියක් මත මේ රට ඉදිරියට ගෙන යාමට අපට අවශ්‍යයි. එදා මේ රටේ පෝළිම් යුගයක් පැවතුණා. එක පිරිසක් උදෑසන පෝලිම්වල හිටියා. තවත් පිරිසක් සවස පෝලිම්වලට එකතු වුණා. තවත් කිහිප දෙනෙක් පෝලිම්වල සිටියදී මියගියා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් භාර ගනු ලැබුවේ එවන් වූ අඳුරු රටක් බව සිහිපත් කළ යුතුයි. අද එතුමා රට නිවැරදි දිශාවකට ගෙන යමින් සිටිනවා.

ලක්ෂ 8කට වැඩි පිරිසක් ත්‍රිරෝද රථ වෘත්තියේ නිරතව සිටිනවා. රටේ දේශපාලන අස්ථාවරත්වය නිසා ඔබ පසුගිය කාලයේ විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ත්‍රිරෝද රථ වෘත්තීය නියාමනය කළ යුතුව තිබෙනවා. රටේ පවතින ස්ථාවරත්වය නිසා නැවතත් විදෙස් සංචාරකයන් අප රටට පැමිණෙමින් සිටිනවා. රටේ සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට ත්‍රිරෝද රථ රියැදුරන් විශාල සේවයක් ඉටු කරනවා. ත්‍රිරෝද රථ වෙනුවෙන් නව ජංගම යෙදුමක් ද ඉදිරි දින කිහිපය තුළ එළිදැක්වීමට ද අප බලාපොරොත්තු වෙනවා.

ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා,

කොවිඩ් වසංගතය සමයේ ප්‍රවාහන කේෂ්ත්‍රයේ අප මහත් අසරණභාවයට පත් වුණා. අපේ වෘත්තීය ජීවිකාව සම්පූර්ණයෙන්ම ඇනහිටියා. බස්, වෑන්, ත්‍රීරෝද රථ නිවාසවලට සීමා කර තිබුණා. එම අසීරූ අවස්ථාව පසු කරගෙන එන විට ඉන්ධන, ගෑස් පෝලිම් යුගයක් ඇති වුණා. නැවත වරක් ප්‍රවාහන සේවාව අඩාල වුණා. දවසක් දෙකක් වාහනය පාරට දාලා ආයෙත් දවස් 4-5ක් තෙල් පෝලිම්වල දුක්වින්ඳා. ඒ හේතුවෙන් රටේ ජනතාව අරගල කරන්න පටන් ගත්තා.

අරගලයෙන් අනතුරුව ජනාධිපති ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසි ආර්ථික සැලැස්ම ඔස්සේ ක්‍රම ක්‍රමයෙන් රට ඉදිරියට ගෙන යනු ලැබුවා. අපේ වෘත්තීය නැවත ආරම්භ කිරීමට හැකි වුණා. නැවතත් අපට රට ගැන විශ්වාසයක් ඇති වුණා. වසර දෙකකට පසුව අපි යළිත් හුස්ම ගනිමින් සිටිනවා. ජනතාවට මේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි. අද ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වය අස්ථාවර කිරීමට ඇතැමුන් වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

කවුරුන් හෝ රට අස්ථාවර කිරීමට වර්ජන රැල්ලක් ආරම්භ කරන්නේ නම් අපේ සහාය ඔවුන්ට ලැබෙන්නේ නැහැ. රට අස්ථාවර වුවහොත් යළිත් තෙල්, ගෑස් පෝලිම් යුගයක් ඇති වීම වැළැක්විය නොහැකියි. එම නිසා යළිත් ජනතාවට පෝලිම්වලට යන්න අවශ්‍ය නැහැ. මේ තිබෙන්නේ නැවතත් අත්හදා බැලීම් කළ යුතු කාලයක් නෙමෙයි තිබෙන්නෙ. වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩඑන්න නම් නැවත වරක් මේ රටේ ජනාධිපති විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ මහ ලේකම් හේම කුමාර ගුණසේකර මහතා,

සමාජය තුළ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරන් ජනාධිපතිතුමන් හමුවීම විශේෂ අවස්ථාවක් බව ද සඳහන් කළ යුතුයි.

සමාජය තුළ නිසි පිළිගැනීමක් නොමැති පෙරළිකාර කණ්ඩායමක් ලෙස ත්‍රිරෝද රථ රියැදුරන් හඳුන්වනවා. එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය නමින් අලුත් සංගමයක් පිහිටුවනු ලැබුවේ මේ ක්ෂේත්‍රයේ ගැටලුවලට විසඳුම් සෙවීමටයි. මෙවැනි වැඩසටහන් තුළින් වෘත්තීය රියැදුරන්ට නිසි ගෞරවය හිමිවනු ඇතැයි ද විශ්වාස කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ අනුශාසක මහින්ද කහඳගම, එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් රහුමාන් පල්ලි, ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියේ රොහන් පෙරේරා යන මහත්වරුන් සහ ප්‍රවාහන සංගම්වල නියෝජිතයන් , ත්‍රිරෝද රථ රියැදුරන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.