විවිධ භූමිකාවන් තුළ සුවිශාල ශාසනික සහ සමාජයීය මෙහෙවරක නිරත වූ පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක ස්වාමීන් වහන්සේ දුර්ලභ සංඝ පීතෘන්වහන්සේ නමක්- ජනපති

විවිධ භූමිකාවන් තුළ සුවිශාල ශාසනික සහ සමාජයීය මෙහෙවරක නිරත වූ පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක ස්වාමීන් වහන්සේ දුර්ලභ සංඝ පීතෘන්වහන්සේ නමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කිසිවිටෙක ජාති ආගම් බේද නොතැකූ උන්වහන්සේ මුළු මහත් ජනතාවගේ හිත සුව පිණිස කැපවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උන්වහන්සේ වෙනුවෙන් සිදු කළ හැකි ඉහළම ගෞරවය වන්නේ ගංගාරම විහාරස්ථානය නම් ධර්ම සහ සමාජ කේන්ද්‍රය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාම බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අපවත් වී වදාළ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට එක් වෙමිනි.

උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (05) පස්වරුවේ එම විහාරස්ථාන භූමියේ දී පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

මීට වසර 40කට පෙර පොඩි හාමුදුරුවන් වහන්සේ සහ මම දෙවුන්දර වාචීස්සර නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය සංවිධානය කළා. අද මම මෙතනට පැමිණ තිබෙන්නේ අපේ ඥානීස්සර ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට සහභාගිවීමටයි. අද මම මේ අවස්ථාවට එක්ව සිටින්නේ රටේ ජනාධිපතිවරයා ලෙස මෙන්ම මෙම විහාරස්ථානයේ දායක සභාවේ සාමාජිකයෙක් ලෙසයි. ඒ වගේම මේ විහාරස්ථානයේ පැරණිම දායක පවුලක් වන විජේවර්ධන පවුල වෙනුවෙන් මම මෙම අවස්ථාවට එක්ව සිටිනවා. මේ අයුරින් ගංගාරාම විහාරස්ථානය සමඟ මාගේ බොහෝ සම්බන්ධතාවන් තිබෙනවා.

දෙවුන්දර වාචීස්සර නායක ස්වාමීන්වහන්සේව මා කුඩා කාලයේ සිට දැන සිටියා. රතනජෝති ස්වාමීන් වහන්සේ ද එම සමයේ වැඩ සිටියා. අපේ පොඩි හාමුදුරුවන් වහන්සේද මට මුණ ගැසුණේ ඒ සමයේදීයි. මම විශ්වවිද්‍යාලයට යන අවස්ථාවේදි විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් පිට වී සිටි උන්වහන්සේ මට විශ්වවිද්‍යාල ජීවිතය ගැන උපදෙස් ලබා දුන්නා.

ඒ වගේම මම උන්වහන්සේ සමඟ සමීපව ඇසුරු කළා. මම බියගම ආසනයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වු අවස්ථාවේ උන්වහන්සේ මට මහත් සහයෝගයක් දක්වමින් අවවාද අනුශාසනා ලබා දුන්නා.

ඉන්පසුව වරක් උන්වහන්සේ මා සමඟ ප්‍රකාශ කළා කොළඹට පෙරහැරක් අවශ්‍ය බව. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සහ රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමා සමඟ සාකච්ඡා කර අප එම කටයුතු ආරම්භ කළා. අද මෙම නවම් පෙරහැර මෙරට ප්‍රධාන පෙරහැරක් බවට පත්ව තිබෙනවා. ඒ අපේ පොඩි හාමුදුරුවන් වහන්සේගේ අසීමිත කැපවීම නිසයි.

ඒ වගේම දුෂ්කර පළාත්වල විහාරස්ථානවලට සහ ඒවායේ වැඩසිටින කුඩා ස්වාමින් වහන්සේලා වෙනුවෙන් උදව් උපකාර කිරීමට උන්වහන්සේ මහත් කැපවීමකින් කටයුතු කළා. ඒ පිළිබඳ අප උන්වහන්සේට ස්තූතිවන්ත විය යුතුයි.

ඈත පළාත්වල ස්වාමීන් වහන්සේලා කොළඹට කැඳවා එම වැඩකටයුතු කරගෙන ගියා. එම කටයුතු සඳහා මෙම විහාරස්ථානය ප්‍රමාණවත් නොවන නිසා මෙම සිව්මහල් ගොඩනැගිල්ල ඉදිකරනු ලැබුවා. උන්වහන්සේගේ ශාසනික මෙහෙවර එතැනින් අවසන් වන්නේ නැහැ. ලෝකයේ බෞද්ධ රටවල් සමඟ සම්බන්ධතා පැවැත්වූවා.

භූතානයේ රජතුමාව මෙරටට කැඳවා භූතාන රජය සමඟ සම්බන්ධතා ආරම්භ කළා. ඒ වගේම තායිලන්තය, වියට්නාමය, චීනය, කොරියාව, ජපානය සමඟ ද සම්බන්ධතා පැවැත්වුවා.

අද මෙම ගංගාරාම විහාරස්ථානය තුළ බුදුන් වහන්සේගේ ධර්මය පමණක් නොවෙයි, චීන, කොරියා බුදු දහම ඇතුළු විවිධ නිකායන් සමඟ සම්බන්ධ වී වැඩකටයුතු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ වගේම මෙම විහාරස්ථානයේ නව ගොඩනැඟිලි ඉදි කරමින් එහි දියුණුව වෙනුවෙන් උන්වහන්සේ විශාල වැඩකොටසක් ඉටු කළා. උන්වහන්සේ මෙම විහාරස්ථානය බෞද්ධ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළා. එය ඉතා අසීරු කටයුත්තක්.

උන්වහන්සේ මෙම ප්‍රදේශයේ දුප්පත් පවුල්වල තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කළා. එමඟින් තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවක් ලබා දුන්නා පමණක් නෙවෙයි ඔවුන්ව රැකියා සඳහා බඳවා ගන්නා ලෙස සමාගම්වලට ගිහින් ඉල්ලා සිටියා.

ඒ වගේම සමාජයේ තවත් කටයුතු ගණනාවකට උන්වහන්සේ දායකත්වය ලබා දුන්නා. දුප්පත් ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර දුන්නා. උන්වහන්සේ සියලුදෙනා වෙනුවෙන් උදව් උපකාර සිදු කළා. උන්වහන්සේගේ එම ගුණය අප සිහිපත් කළ යුතුයි.

ඒ වගේම උන්වහන්සේ තුළ ආගම් හෝ ජාති බේද තිබුණේ නැහැ. 1983 කෝළහාල කාලයේ සරණාගත ජනතාව සිටි ස්ථානවලට ආහාර ගෙන යාමට නොහැකි වුණා. එම හැම ලොරියකම නැග යන ලෙස අපේ පොඩි හාමුදුරුවෝ අනෙකුත් ස්වාමින්වහන්සේට දැනුම් දුන්නා. ඒ අන්දමින් තමයි අපි එම ජනතාව වෙනුවෙන් සහනාධාර ලබා දුන්නේ. ඉන්පසුව උන්වහන්සේ වව්නියාවට ගොස් එම ගම්මානවල ජනතාව වෙනුවෙන් උදව් උපකාර කළා.

අපේ පොඩි හාමුදුරුවෝ නායකත්ව චරිතයක්. පරිපාලනය පිළිබඳ උන්වහන්සේ තුළ සුවිශේෂී දක්ෂතාවක් තිබුණා. ඒ වගේම උන්වහන්සේ දේශපාලන කටයුතු වෙනුවෙන් ද මහඟු දායකත්වයක් ලබා දුන්නා. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමඟ මෙන්ම මා සමග ද උන්වහන්සේ සමීපව කටයුතු කළා. ජනතාවට ප්‍රශ්නයක් තිබු අවස්ථාවේ ඒ පිළිබඳ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට කථා කරන්න පොඩි හාමුදුරුවන්ව හමු වීමට ජනතාව පුරුදුව සිටියා.

උන්වහන්සේ වැනි චරිත අපට නැවත මුණ ගැසෙන්නේ නැහැ. උන්වහන්සේ තුළ විවිධ චරිත තිබුණා. උන්වහන්සේගේ දක්ෂතා නිසා මෙම විහාරස්ථානය අද මෙවන් විශාල දියුණුවක් ලබා තිබෙනවා. උන්වහන්සේ ඉටුකළ එම වැඩකටයුතු ඉදිරියට ගෙන යාම අප හමුවේ පවතින අභියෝගයයි. ගංගාරම විහාරස්ථාය නම් මෙම ධර්ම සහ සමාජ කේන්ද්‍රය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාමට අප සියලුදෙනා කැප වෙමු.

මහා නා හිමිවරුන්, අනුනායක හිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු සහ මැති ඇමතිවරුන් ද, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු කථානායක කරු ජයසුරිය යන මහත්වරුන් ද, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරින්, තානාපතිවරුන්, මහා කොමසාරිස්වරුන් සහ දෙස් විදෙස් සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.