පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරනවා

  • රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජාත්‍යන්තරය සමඟ ඇති කරගත් එකඟතා කඩ කළ නොහැකියි.
  • මෙරට ආර්ථික ඉලක්ක සපුරාගත හැකි ආකාරයට අධ්‍යාපනය ක්ෂේත්‍රය පරිවර්තනය කළ යුතුයි.
  • ශ්‍රී ලංකාව මෙම කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා- විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමුළුවේ දී ජනපති පවසයි.

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉදිරිපත් කර ඇති ප්‍රති යෝජනාවත් සලකා බලමින් සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා, බදු පරාසය පුළුල් කිරීම සඳහා යෝජනා කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව, විද්වතුන් ඇතුළු මධ්‍යම පාන්තික ප්‍රජාව වෙත ප්‍රතිලාභ ගෙන දෙන බැවින් ඒ පිළිබඳ සිය අවධානය යොමුවී ඇති බව ද සඳහන් කළේය.

එමෙන්ම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම ඉලක්ක කරගනිමින් මෙරට උසස් අධ්‍යාපන ක්‍රමයේ පරිවර්තනයක් සිදු කිරීම සඳහා වන පුළුල් ප්‍රතිසංස්කරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර සිටියේ “සංවර්ධිත දේශයක් කරා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය පරිවර්තනය කිරීම” යන තේමාව යටතේ ඊයේ (13) පස්වරුවේ බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.

මෙරට උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව ලබාදීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

“මම මෙම අවස්ථාවට සහභාගී වීමට පෙර මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ වැදගත් සාකච්ඡාවකට සභාගී වුණා. එහිදී අනාවරණය වූ ආකාරයට, ඉදිරියේදී ඔබට යම් සුභ ආරංචියක් අසන්නට ලැබෙනු ඇතියි. එය විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙරට රඳවා ගැනීමටද ඉවහල් වනු ඇති බව සඳහන් කළ යුතුයි.

අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයට පසුගිය වසර දෙක ඉතා දුෂ්කර කාල වකවානුවක් වුණා. අපගේ අමාත්‍යවරුන් පෙන්වූ දක්ෂතාව නිසා පළමු වසර තුළ අපට අර්බුදයෙන් මිදීම සඳහා මග සලසා ගැනීමට හැකිවුණා. අර්බුදයට ගොස් තිබු මෙරට ආර්ථිකය අප මුල සිට ගොඩනැගුවා. මේ වන විටත් අප නිල ණය හිමියන්ගේ කමිටුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් පාර්ශ්ව සමඟ ගිවිසුම් ගතව සිටිනවා. එම ගිවිසුම්වල බොහෝ යෝජනා ඇතුළත් වෙනවා. ඒවායේ දැක්වෙන මිණුම් දඬු තුළ අප ක්‍රියා කළ යුතු අතර ඔබ ඒ පිළිබඳ දැනුවත් විය යුතුයි.

නිල ණය හිමියන්ගේ කමිටුවේ රටවල් 17, චීන එක්සිම් බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ඇතුළු සමස්ත පාර්ශ්වකරුවන් 21ක් සමඟ එකඟ වී ඇති සාර්ව ආර්ථික මිණුම් දඬු පිළිබඳ සාකච්ඡා සඳහා අපට වසරක පමණ කාලයක් ගතවුණා. මෙම මිණුම් දඬු වෙනස් කළ නොහැකියි.

පළමුවෙන්ම, 2025-2032 වන විට අප 2.3% ක මූලික අයවැය අතිරික්තයක් පවත්වාගත යුතුයි. දැනට, අප සිටින්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%ක බැවින්, 2.3%ක අතිරික්තය ලබා ගැනීම ඉලක්ක කර ගනිමින් අපගේ අයවැය සකස් කළ යුතුයි. 2032 වසර වන විට රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 95%ක් දක්වා අඩු කළ යුතුයි. මේ වන විට එය පවතින්නේ 111% මටට්මකයි. 2032 වසර වන විට දළ මූල්‍ය අවශ්‍යතා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 13%ක් විය යුතු අතර, එය දැනට 27.8%ක ප්‍රමාණයක පවතිනවා. ඒ අනුව අප එය අඩකින් අඩු කරගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව විදෙස් ණය සේවාකරණය මේ වන විට පවතින 9.2% ට සාපේක්ෂව 1.3%ක් දක්වා අඩු කර ගත යුතුයි. 2025 වසර වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතය 14%ක් දක්වා ළඟා විය යුතු අතර, මේ වන විට අප 9.5%ක මට්ටමක සිටිනවා. ඒ වගේම 2028 වසර වන විට අපගේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15ක් දක්වා වැඩි කර ගත යුතුයි. අප සතුව මේ වන විට තිබෙන්නේ ඩොලර් බිලියන 5.6ක සංචිත ප්‍රමාණයක් පමණයි. තවද උද්ධමනය 5% නොඉක්මවිය යුතු අතර භාණ්ඩාගාර ඇපකර ප්‍රමාණය ද 75% ට වඩා අඩු විය යුතුයි. අප දැනට මෙම ඉලක්ක දෙක ජයගෙන තිබෙනවා.

ඒ වගේම අපට රජයේ ගෙවීම්වල මාස තුනක් ඉක්මවා යන හිඟ මුදල් පවත්වාගත නොහැකියි. මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීම සඳහා ද අවසර නැහැ. විදුලිය සහ ඉන්ධන සඳහා ලාභදායී මිල ගණන් පවත්වා ගත යුතු අතර, ලංකා විදුලිබල මණ්ඩලය හෝ ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙහි සිදුවන ඕනෑම පාඩුවක් භාණ්ඩාගාර වෙත මාරු කිරීම හරහා එම පාඩු පියවීමට කටයුතු කළ යුතුයි. සමාජ ආරක්ෂණය සඳහා යොදවනු ලබන අරමුදල් සඳහා අවම වියදම් සීමාවන් පවත්වා ගත යුතුයි. ඇතිකර ගත් එකඟතා අනුව සමාජ සුබසාධක ප්‍රතිලාභ ලැබිය යුත්තන් ප්‍රමාණය ලක්ෂ 16 සිට ලක්ෂ 24 දක්වා වැඩි කිරීමට අප කටයුතු කළා. රට බංකොලොත් ව පැවති කාලය තුළ වූවත්, අප ඉන් පෙර ලබාදුන් සමාජ සුබසාධක ප්‍රතිලාභ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දීමට අප කටයුතු කළ අතර, අප එම ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. මෙම නියමයන් නැවත සාකච්ඡා කර වෙනස් කළ නොහැකි බව ද සඳහන් කළ යුතුයි.

අපගේ ණය හිමියන් ඩොලර් බිලියන 10 ක් දක්වා ණය සහන ලබා දීමට එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් අපට වසර තුනක් සඳහා ඩොලර් බිලියන 2.9ක් ලබා දුන්නා. නමුත් අප ඇතිකරගෙන තිබෙන එකඟතා අනුව ඉදිරියට යා යුතුයි. අප ආර්ථික පරිවර්තන පනත ගෙන ආවේද මේ නිසායි.

ශ්‍රී ලංකාව අපනයනය ඉලක්ක කරගත් සහ තරගකාරී ආර්ථිකයක් බවට පත් කිරීම අපගේ ඉලක්කය විය යුතුයි. දැන් අප සිටිනුයේ බදු සීමාවන් ගැන සාකච්ඡා කිරීමේ අදියරේයි. අප මේ වසරේ ශක්තිමත් ආර්ථික කාර්ය සාධනයක් ලබා ඇති අතර ලබන වසර තුළත් එය පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා. ඒවගේම බදු ගෙවන්නන්ට සහන සැලසීම සඳහා පුද්ගලික ආදායම් බදු ව්‍යුහයේ ගැලපීම් පිළිබඳව මේ වන විට අප සලකා බලමින් සිටිනවා.

ඒ සම්බන්ධව දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙන්ම මහා භාණ්ඩාගාරයෙන් යෝජනා දෙකක් ඉදිරිපත්ව තිබෙනවා. භාණ්ඩාගාරයේ යෝජනාව වන්නේ රුපියල් මිලියන 1.2ක බදු රහිත සීමාවක් පවත්වා ගෙන යමින් බදු පරාසය රුපියල් 500,000 සිට 720,000 දක්වා පවත්වාගෙන යමින් ඉහළ බදු අනුපාතය 36%ක තබා ගැනීමයි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී ඇති ප්‍රති යෝජනාවේ සඳහන් වන්නේ බදු රහිත සීමාව රුපියල් මිලියන 1.2 පරාසයෙහි තබාගනිමින්, නමුත් පළමු බදු පරාසය රුපියල් 500,000 සිට රුපියල් මිලියනය දක්වා පුළුල් කරමින්, සියලු බදු සීමාවන් රුපියල් 500,000 කින් ඉහළ නංවා ආරම්භක සීමාව රුපියල් 500,000ක් ලෙස පවත්වාගෙන යමින් ඉහළම බදු අනුපාතය 36% හි පවත්වා ගැනීමයි. අප එම යෝජනා ඇගයීමට ලක්කරමින් සහන සැලසීමට කටයුතු කරමින් සිටිනවා. මෙහිදී රටට සහ ජනතාවට වඩාත් සුදුසු දේ සලකා අප තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.

මේ වන විට ආර්ථිකය වර්ධනය වෙමින් ඇති නමුත් අප එම වර්ධනය වේගවත් කළ යුතුයි. අප සතු මානව සම්පතෙහි ප්‍රතිලාභ උපරිමයෙන් ලබාගැනීමට අවධානය යොමු කළ යුතුයි. මේ සඳහා අපට ඉහළ මට්ටමේ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් පාසල් පද්ධතිය සහ පශ්චාත් පාසල් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 500ක් සහ පළාත් නියෝජිතායතන නවයක්, වෘත්තීය අධ්‍යාපන විද්‍යාල ලෙස ඒකාබද්ධ කිරීමටද අප සැලසුම් කර තිබෙනවා. “ආශ්‍රිත උපාධි” පිරිනැමීමට හැකි තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ විශ්වවිද්‍යාල විද්‍යායතන ඇති කිරීම පිළිබඳව ද අප සලකා බලමින් සිටිනවා.

රැකියා සොයා ගැනීමට නොහැකි නම් තමන් අධ්‍යාපනය ලැබුවේ ඇයි දැයි කියා බොහෝ සිසුන් විමසනවා. මෙම ගැටළුව විසඳීම සඳහා, උපාධියක් හෝ උසස් ඩිප්ලෝමාවක් පසුව හැදෑරීම සඳහා විකල්පයක් ද සහිතව රැකියා ඉලක්ක කරගත් උපාධියක් හැදැරීම පිළිබඳ අවස්ථාව ලබාදීමට අප සාකච්ඡා කරමින් සිටිනවා.

මෙරට විශ්වවිද්‍යාල උසස් ප්‍රමිතියක් සහිත විශ්වවිද්‍යාල බවට ඉහළ නැංවීම අපගේ අරමුණයි. මේ සඳහා යම් කාලයක් ගතවනු ඇති නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩි වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබා දීමෙන් අප එම ක්‍රියාවලිය ආරම්භ කළ යුතුයි. ඒවගේම විශ්වවිද්‍යාල වෙත, තම මුදල් කළමනාකරණය කර ගැනීමටත්, විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමටත් නිදහස තිබිය යුතුයි. විදේශීය සිසුන්ගෙන් මුදල් අය කරන අතර දේශීය සිසුන්ට රජය මගින් අරමුදල් සපයන ආකෘතියක් විශ්වවිද්‍යාල වෙනුවෙන් සලකා බැලිය හැකියි.

අප නව විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කරමින් සිටින අතර, මේ වන විටත් තිබෙන විශ්වවිද්‍යාල ද පුළුල් කිරීමට කටයුතු කරනවා. නව තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් විශ්ව විද්‍යාල හතරක් ඇති කිරීමටත්, ඒ සඳහා ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතන සමඟ සහයෝගිතාවක් ඇතිකර ගැනීම සඳහාත් අපට යෝජනා තිබෙනවා. අප මේ ආකාරයට පුළුල් වන විට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟයක් ද ඇති විය හැකියි.

රාජ්‍ය විශ්වවිද්‍යාල තත්ත්වය ලබාදිය හැකි රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතන ද මෙරට තුළ තිබෙනවා. අරමුදල් සපයා ගැනීම සහ ඒවා කළමනාකරණ කිරීම සඳහා විකල්ප සහිතව, විශ්වවිද්‍යාල සඳහා නව මාදිලි හඳුන්වා දීම පිළිබඳව ද අප සලකා බැලිය යුතුයි. අනාගතයේ මෙම කලාපය තුළ උසස් අධ්‍යාපනය සඳහා ඇතිවිය හැකි ඉල්ලුමෙහි වැඩිවීම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම අපගේ ඉලක්කයයි.

අධ්‍යාපනයේ සහ ආර්ථිකයේ වර්ධනය සඳහා අප සතුව බොහෝ සැලසුම් සහ අදහස් තිබෙනවා. අප ආරම්භ කළ ක්‍රියාවලිය මත අඛණ්ඩව ඉදිරියට යමින් සාර්ථකත්වය ළඟාකර ගත යුතුයි.”

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත,

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේදී බලයට පත් වූයේ අධ්‍යාපනයට සහාය දීමට පවා රජයට නොහැකිව තිබූ පසුබිමක බව සඳහන් කළ යුතුයි. එම අවස්ථාවේදී, ජනාධිපතිතුමා, එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන්, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, කාර්මික අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ඇතුළු ක්ෂේත්‍ර ඇතුළත් අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගන්නා ලෙස මට ආරාධනා කළා.

දින හතරක් පුරා පැවති දිගු පෝලිම්වලට හේතු වූ ඉන්ධන හිඟය, පැය 14ක් පුරා පැවති විදුලි කප්පාදුව, විභාග ප්‍රමාද වීම සහ නිල ඇඳුම් සහ පෙළපොත් වැනි දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මූලික සම්පත් හිඟකම සමඟ අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර, වසර දෙකක් ඇතුළත අප සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ අපගේ අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපවූ වෘත්තිකයන්ගේ සහයෝගය ඇතිව අප ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට සමත් වුණා. අද, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අනාගතය ගැන සාකච්ඡා කිරීමට විද්වතුන් සහ වෘත්තිකයන් 750 කට අධික සංඛ්‍යාවක් එක්රැස් කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා.

සාමාන්‍ය අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, නිපුණතා සංවර්ධනය සහ උසස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ පරිවර්තනය කිරීමට අප සැලසුම් සකස් කරන විට මෙම අවස්ථාව තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. ජනාධිපතිවරයා මෙන්ම, හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, හිටපු උපකුලපතිවරුන්, උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ (CVCD) සාමාජිකයින්, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයේ නියෝජිතයින් සහ විද්වතුන් අපේ මෙහෙයුම සඳහා එක්ව සිටිනවා. අපගේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙනයාම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල 17, රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන 5 සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සමඟ එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන දේශනයෙන් අනතුරුව, ජනාධිපතිරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ (CVCD) කමිටුවේ සභාපති (CVCD) මහාචාර්ය සංජීවනී ගිනිගද්දර, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රීසත්කුනරාජා සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමයේ සභාපති ආචාර්ය දයාන් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් සහභාගී වූ විද්වත් සාකච්ඡාවක් ද මෙහිදී පැවැත්විණ.

එහිදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව විසින් මුහුණ දෙන පෝෂණ ඌණතාවය, මානසික ව්‍යාකූල තත්ත්වයන් සහ රෝගාබාධ, නේවාසිකාගාර පහසුකම් ගැටළු, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා විදේශීය සිසුන් ඇතුලත් කර ගැනීම, නව පාඨමාලා හඳුන්වාදීම මෙන්ම ජාත්‍යන්තර ගිවිසුම්වලට එළැඹීමේදී මුණදීමට සිදුවන දුෂ්කරතා සහ විශ්වවිද්‍යාල සඳහා ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව ලබාදීම, පාඨමාලා සඳහා දේශීය සිසුන් ඇතුලත් කරගැනීමේදී සිසුන් තෝරාගැනීමේ අවස්ථාව විශ්වවිද්‍යාල වෙත ලබාදීම ඇතුළු ගැටළු රැසක් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ අතර එම ගැටළු සඳහා සාධනීය පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, රජයේ උසස් අධ්‍යාපන ආයතන අධ්‍යක්ෂවරුන්, උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ (CVCD) සාමාජිකයින් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල නියෝජිතයන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.