2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා

  • තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ රට විය යුතුයි.
  • බංග්ලාදේශය නැවත යථා තත්ත්වයට පත්වනු ඇති බවට සැකයක් නැහැ.
  • දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීමට අවශ්‍ය නීති සම්පාදන කටයුතු ලබන වසර මුලදී සිදු කරනවා- ජනපති.

පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සඳහා වාණිජමය ආයෝජන හරහා ගෝලීය මූල්‍ය පහසුකම් ආකර්ෂණය කරගැනීමට බලාපොරොත්තු වන බවත්, වැවිලි ක්ෂේත්‍රය වතු ව්‍යාපාරවල සිට කෘෂි ව්‍යාපාර දක්වා පරිවර්තනය කිරීම, තිරසර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම හා ඩිජිටල්කරණය ඒ වෙනුවෙන් ක්‍රියාවට නංවා තිබෙන ප්‍රධාන වැඩසටහන් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (06) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ සමුළුව අමතමිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධි ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් “පැහැපත් අනාගතයක් සඳහා තිරසර මංපෙත්” යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම සමුළුව අද දිනය පුරා පැවැත්වෙන අතර පරිසර, සමාජ සහ පාලනය යන ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් 15 දෙනෙකු පමණ තිරසරභාවය සඳහා පරිවර්තනය වීම වෙනුවෙන් වැදගත්වන දැනුම, අවබෝධය සහ නවෝත්පාදන විසඳුම් බෙදා ගැනීම වෙනුවෙන් ඊට එක්ව සිටී.

මෙහිදී ක්ෂුද්‍ර, කුඩා,හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ විශිෂ්ටතා සම්මාන පිරිනැමීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

පසුගිය අවුරුදු තුන පුරා විවිධ සමුළු පවත්වමින් පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ කතා කිරීම සම්බන්ධව මම පළමුවෙන්ම ඔබට ස්තූති කළ යුතුයි. විශේෂයෙන්ම පුද්ගලික අංශය ලෝකය වෙනස් වන ආකාරය පිළිබඳ සහ ආර්ථික, සමාජීය සහ පාලනය පිළිබඳ අධ්‍යයනය කළ යුතු බැවින් එය වැදගත් බව මම විශ්වාස කරනවා. අප එය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි.

ඒ වගේම දකුණු ආසියාවේ සියලුම රටවල් අතරින් එසේ කළ හැකි හොඳම රට වන්නේ අප රට බව පැවසිය යුතුයි. මාලදිවයින අප හා සමාන නමුත් එය තරමක් කුඩා රටක්. මම හිතන්නේ අනෙක් රටවල් එයට සූදානම් නැහැ. ඒ නිසා අප මෙහි පළමුවැන්නා විය යුතුයි.

මෙහි දී පෞද්ගලික අංශයේ දායකත්වය පිළිබඳ මා ප්‍රශංසා කරනවා. අද ලෝකයේ භූ දේශපාලනික තත්ත්වය ඉන් විරුද්ධ දිශාවට ගමන් කරන බව ද ඔබ මතක තබා ගත යුතුයි. තිරසර සංවර්ධන ඉලක්ක, පැරිස් දේශගුණික සමුළුව සහ ග්ලාස්ගොව් සමුළුවේ එකඟතාවන් අතරමඟ නතරවී තිබෙනවා. එතැන් සිට අප එතරම් දියුණුවක් ලබා නැහැ.

ලෝකය තවමත් COVID-19 වසංගත තත්ත්වයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. චීනයේ ආර්ථිකය තවමත් උපරිමයෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ සඳහා තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි මම විශ්වාස කරනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනයක් පිළිබඳ කතා කළ නමුත් ඔවුන් දැන් සඳහන් කර තිබෙන්නේ රැකියා වෙළඳපොළ අතුරුදහන් වී ඇති බවයි. ඒ නිසා අප ලෝකයේ ප්‍රධාන ආර්ථිකය දෙක දෙස අවධානය යොමුකළ යුතුයි. යුරෝපය ඉදිරියට ගමන් කරන නමුත් එහි ද ගැටළු තිබෙනවා. අප තිරසාර සංවර්ධන ඉලක්ක දෙස අවධානය යොමු කරන්නේ මෙවන් පසුබිමක් තුළයි.

අප තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගන්නේ කෙසේද, අප ඒ සඳහා අරමුදල් සපයා ගන්නේ කොහොමද, රටවල් කොපමණ ප්‍රමාණයකට මේ සඳහා මුදල් වියදම් කළ හැකිද? ඔබ පෙරළියක් අපේක්ෂා කරනවා නම් “පරිසර, සමාජීය හා පාලනය (ESG)” පිළිබඳ කටයුතු කරන්නේ කෙසේද? ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකාවේ ජනාධිපති ධූරයට පත් වුවහොත් එය විවෘත ප්‍රශ්නයක් බවට පත්වෙනවා.

නමුත් වඩාත් කණගාටුවට කරුණ වූයේ එක්සත් රාජධානියේ සිදු වූ දෙයයි.බොරිස් ජොන්සන් මහතා යටතේ, ග්ලාස්ගෝව් සමුළුව සහ එහිදී එකඟවූ මූලධර්ම සියලු දෙනා විසින් පිළිගනු ලැබුවා. වසර දෙකක් ඇතුළත, ඔහුගේම අනුප්‍රාප්තිකයා බවට පත්වූ රිෂි සුනක් මහතා, අසාර්ථක වූ ප්‍රතිසංස්කරණවලින් දක්ෂිණාංශික ඡන්දය ලබා ගැනීම සඳහා ඒ සෑම දෙයක්ම ආපසු හැරවූවා. අද අප එක්සත් රාජධානිය තුළ නව රජයක් පවතින බව දකිනවා. එය ආපසු හැරවීමට ඔවුන්ට අවශ්‍ය නමුත් එක්සත් රාජධානියට ඒ සඳහා තවදුරටත් මුදල් නොමැති බව අප මතක තබා ගත යුතුයි.

අපට ලැබෙන්න තිබෙන සියලුම අරමුදල් පිළිබඳ අප සාකච්ඡා කර තිබනෙවා. අප COP 27, 28, 29 සමුළු වලදී මේ පිළිබඳ සාකච්ඡා කළා. අප කොපමණ ප්‍රමාණයක් අරමුදල් ලබා දෙනවාද? අප ණය පිළිබඳ සමුළුව සඳහා පැරිස් නුවර දී හමුවූ නමුත් තවමත් අවසන් ප්‍රතිඵලයක් ලැබී නැහැ. එය නරක අතට හැරෙමින් පවතිනවා. මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය යුක්‍රේනය සහ ඊශ්‍රායලය සඳහා වැඩි මුදලක් වියදම් කර තිබෙනවා.

එම අරමුදල් අපිට මේ වෙනුවෙන් යෙදවිය යුතුව තිබුණා යැයි මා සිතනවා. යුරෝපය මේ සඳහා වියදම් කර ඇති මුදල් ප්‍රමාණය දෙස බලන්න. ඒ වගේම රුසියාව කොපමණ මුදලක් වියදම් කළාද කියා අපි දන්නේ නැහැ. ඒ අරමුදල් සියල්ලම මේ සඳහා යෙදවිය හැකිව තිබුණා. නමුත් එය සිදුවන්නේ නැහැ. දෙවනුව, මැදපෙරදිග තත්ත්වයත් ඒ හා සමානයි. ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය බව පෙනෙන්ට තිබෙනවා. ප්‍රතිප්‍රහාර එල්ල කිරීම මඟින් ශ්‍රී ලංකාව ඇතුළු සියලු රටවලට අයහපත් ප්‍රතිවිපාක එල්ල වෙනවා.

අපගේ මිත්‍ර රටක් වන බංගලාදේශයේ දේශපාලනය පිළිබඳ කතා කිරීමට මා අදහස් නොකරන නමුත් ඒ පිළිබඳ යමක් සඳහන් කළයුතුයි. ෂෙයික් හසීනා මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගියත්, අප ඉතා අසීරු අවස්ථාවක සිටිදී ඇය අපේ රටට ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මම සිහිපත් කළ යුතුයි.

ඒ නිසා මේ මොහොතේ ඇත්තටම වැටී සිටින පුද්ගලයෙකු ගැන හොඳ වචනයක් ප්‍රකාශ කිරීම සාධාරණ යැයි මම සිතනවා. කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා. බංග්ලාදේශයේ තත්ත්වය ඉක්මනින් සමථයකට පත්වේවායි අප ප්‍රාර්ථනා කරනවා. බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට මට සැකයක් නැහැ.කෙටි කාලීනව යම් යම් ප්‍රශ්න ඇති වේවි, නමුත් මතක තබා ගන්න ශ්‍රී ලංකාවේ අපටත් ඒ දේම සිදුවුණා. බංගලාදේශයේ විශාලතම ආයෝජකයින්ගෙන් අප ද එක් රටක් වන නිසා අපි ඒ රටේ රැකියා අවස්ථා ඇති කර තිබෙනවා.

ලෝකය තුළ පවතින තත්ත්වයන් යහපත් නොවන බව මෙම සිදුවීම්වලින් පැහැදිලි වෙනවා. නමුත් ශ්‍රී ලංකාව මෙම කටයුතුවලින් ඉවත් වන බවක් එයින් අදහස් වන්නේ නැහැ.

මෙම ගෝලීය සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ අක්කර 600ක ප්‍රදේශයක ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදන කටයුතු ලබන වසර මුල වන විට සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. වාණිජ ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් කාබන් අවශෝෂණය සඳහා නිවර්තන කලාප සහ ඉන්දියන් සාගරය යොදාගැනීම සඳහා නිවර්තන කලාප මුලපිරීම ඉදිරිපත් කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලමින් සහ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටිනවා.

මේ සඳහා වාණිජමය ආයෝජන හරහා ගෝලීය මූල්‍ය පහසුකම් ආකර්ෂණය කරගැනීමට අප බලපොරොත්තු වෙනවා. වැවිලි කර්මාන්තයේ පවතින වතු ව්‍යාපාරවල සිට කෘෂි ව්‍යාපාර දක්වා පරිවර්තනය වීම, තිරසාර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම හා ඩිජිටල්කරණය ඒ තුළ ප්‍රධාන අරමුණු බවට පත්වෙනවා. මීට අමතරව, තාක්ෂණික අධ්‍යාපනය සහ නවෝත්පාදනය සඳහා සහාය වීම සඳහා නව තාක්ෂණික විශ්වවිද්‍යාල හතරක් ස්ථාපිත කිරීමට ද කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන HSBCහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සර්ජනර් (Mark Surgenor) යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය, ව්‍යාපාරිකයින්, පුද්ගලික ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධි ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය, විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.