රටේ ආර්ථිකය ගොඩනැඟීමට රජය ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සහාය වීම ජනතාවගේ වගකීමයි

  • මගේ ඉලක්කය වූයේ කඩිනම් ආර්ථික ප්‍රකෘතියක් රට තුළ ඇති කිරීමයි :එම ඉලක්කය මේ වන විට සාක්ෂාත් කරගෙන තිබෙනවා.
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන එකඟතාව, අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම මාර්ගයයි – ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුවට එක් වෙමින් ජනපති පවසයි.

රට හමුවේ ඇති ඕනෑම අභියෝගයක් ජය ගත හැකි ශක්තිමත් සහ දක්ෂ කණ්ඩායමක් තමා සමඟ සිටින බවත්, රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක අවසානයක් කරා මෙහයවීමට හැකි පරිසරයක් උදා කර දීම රටේ ජනතාවගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

තම ඉලක්කය වූයේ කඩිනම් ආර්ථික ප්‍රකෘතියක් රට තුළ ඇති කිරීම බව පැවසූ ජනාධිපතිවරයා එම ඉලක්කය මේ වන විට සාක්ෂාත් කරගෙන තිබෙන අතර තිරසර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන එකඟතාව, අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම මාර්ගය බවත් පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එළැඹීමෙන් ශ්‍රී ලංකාවට මේවන විට සැලකිය යුතු සහනයක් හිමිව තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (26) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ (OPA) 37 වන වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තතා ලෙස එක්වෙමිනි.

“ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසර වර්ධනය කරා” යන තේමාව යටතේ මෙවර වාර්ෂික සමුළුව සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානය (OPA) යනු දැනට 60,000 කට අධික සාමාජික සංඛ්‍යාවක් සිටින ක්ෂේත්‍ර 34 ක් සඳහා සේවා සපයන සාමාජික සංගම් 52කින් සමන්විත වෘත්තිකයන්ගේ ආයතනයකි.

මෙම අවස්ථාවට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වුණු අතර ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ වාර්ෂික සඟරාවද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

රටේ පවතින තත්ත්වය සහ අප මුහුණ දෙන අභියෝග පිළිබඳව රජයක් ලෙස අප සාකච්ඡා කර තිබෙනවා. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඔබට ඒ පිළිබඳ විස්තර කර ඇති නිසා නැවතත් මම ඒ ගැන සඳහන් කිරීමට යන්නේ නැහැ. ඔහුගේ පැහැදිළි කිරීම තුළින් අප ඉදිරියේ ඇති ගැටලුවේ බරපතලකම පෙන්නුම් කෙරෙනවා.

වාසනාවකට මෙන්, අප ප්‍රධාන හේතු දෙකක් නිසා වේගවත් ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගත්තා. ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ශක්තිමත් කණ්ඩායමක් මට සිටියා. දෙවනුව, අප අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගනිමින් ගතයුතු වැදගත් ක්‍රියාමාර්ග කඩිනමින් ගත්තා.

ග්‍රීසියේ ඇතිවූ තත්ත්වය ශ්‍රී ලංකාවේ ඇති නොවීමට වගබලා ගන්නා බවට මම අධිෂ්ඨාන කරගත්තා. ග්‍රීසිය ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ එකඟතාවයකට පැමිණීමෙන් පසුව, මැතිවරණයක් පැවැත්වූවා. ඉන්පසුව පැවැත්වූ ජනමතවිචාරණයේදි එම ගිවිසුම ප්‍රතික්ෂේප කළ නිසා ග්‍රීසියේ ආර්ථිකය තවත් කඩා වැටුණා. එනිසා ග්‍රීසිය යථා තත්ත්වයට පත් වීමට දශකයක් පමණ ගත වුණා. මගේ ඉලක්කය වූයේ කඩිනමින් ප්‍රකෘතිමත් තත්ත්වයට ළඟා වීමයි. අප දැන් එය සාක්ෂාත් කර ගෙන තිබෙනවා.

තිරසර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපගේ ගිවිසුමට අනුව කටයුතු කිරීම ඉතා වැදගත්වෙනවා. එම ගිවිසුමට එළැඹීම පහසු වූයේ නැහැ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ විවිධ ණය හිමියන්ගේ කණ්ඩායම් ඇතුළුව බොහෝ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කළා. ඔවුන් අතර පැරිස් සමාජයේ රටවල් සිටියා. චීනය ඊට වඩා වෙනස් ප්‍රවේශයක් ගත්තා. එනිසා අපට මෙම සංකීර්ණ තත්ත්වය තුළ සාකච්ඡා කිරීමට සිදුවුණා. ඒ වගේම හැමිල්ටන් සංචිත බැංකුව විසින් අපට එරෙහිව ගොනු කරන ලද නඩුවක් ද තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ අප පුද්ගලික ණය හිමියන් සහ බැඳුම්කර හිමියන් සමඟ තවමත් සාකච්ඡා කරමින් සිටිනවා.

අභියෝග මධ්‍යයේ වුවද, අප ඇතිකරගත් එකඟතාව අපව අර්බුදයෙන් මුදාගෙන ජනතාවට වර්ධනය සහ සහනය පිළිබඳ බලාපොරොත්තුවක් උදාකර දී තිබෙනවා.

උදාහරණයක් ලෙස බැලුවහොත්, බලශක්ති මිල ගණන් ස්ථාවර වී තිබෙනවා. ඒ වගේම අනෙකුත් ක්ෂේත්‍රවල ද ධනාත්මක ප්‍රතිඵල දක්නට තිබෙනවා. ඇතැමුන් අප මෙම ගිවිසුම වෙනස් කළ යුතු හෝ එයින් ඉවත් විය යුතු බවට තර්ක කරනවා. නමුත් එය සත්‍ය නොවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප ඇතිකරගෙන තිබෙන එකඟතාව අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම මාර්ගයයි. එමඟින් අපට සැලකිය යුතු සහනයක් ලබාදී තිබෙනවා.

අපේ ආර්ථිකය ආනයනය මත යැපෙන තත්ත්වයෙන් අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අපි රාජ්‍ය ණය කළමනාකරණ පනත, රාජ්‍ය මූල්‍ය පනත, මහ බැංකු පනත, සහ ආර්ථික පරිවර්තන පනත ඇතුළුව මෙම ආර්ථික පරිවර්තනයට සහාය වීම සඳහා ප්‍රධාන නීති සම්මත කර තිබෙනවා. ඒ අනුව අප ප්‍රථම වතාවට, ප්‍රතිපත්තියක් නීතියක් බවට පත්කර තිබෙනවා. එනිසා නායකත්වය මාරුවීම හෝ රජය වෙනස්වීම මගින් එය පහසුවෙන් වෙනස් කළ නොහැකියි.

අප දැන් අවධානය යොමු කළ යුත්තේ අපේ ආර්ථිකය, ආනයන මත යැපෙන තත්ත්වයෙන් අපනයනය හා තරගකාරී තත්ත්වයකට පරිවර්තනය කිරීම පිළිබඳවයි. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා විශේෂයෙන් ඇඟලුම් වැනි අංශවල වැඩි ඵලදායිතාවයක් අවශ්‍ය වෙනවා. එහිදී අප ඉහළ මට්ටමේ වෙළඳපල කරා ගමන් කළ යුතුයි. මීට අමතරව, ආහාර සඳහා වැඩිවන ගෝලීය ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින් කෘෂිකර්මාන්තය නවීකරණය කළ යුතුයි. දැනට වගා කටයුතු සඳහා භාවිතා කර නොමැති අක්කර 300,000ක් පමණ වගා කිරීම සඳහා යොදාගැනීමේ හැකියාව පවතිනවා. වී වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීමට අප සැලසුම් කර තිබෙනවා. කෘෂිකර්මාන්තයේ සහ කිරි නිෂ්පාදනවල අගය එකතු කිරීම සඳහා මෙන්ම වෙනත් භෝග සඳහා ද ඉඩම් නිදහස් කළ හැකියි.

සංචාරකයින්ගේ පැමිණීම දෙගුණ කිරීමටත් එමගින් එක් රැයකට ලැබෙන ආදායම ඉහළ නැංවීමටත් අප සැලසුම් කර තිබෙනවා. එනිසා සංචාරක ව්‍යාපාරය තවත් ප්‍රධාන අංශයක් බවට පත්වෙනවා. සැපයුම් දාම පුළුල් කිරීම, ඉහළ තාක්‍ෂණයකින් යුතු නිෂ්පාදන වැඩි දියුණු කිරීම මෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු ඩිජිටල්කරණය සඳහා ඉක්මනින් ප්‍රවේශ වීමද ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත ගොඩනැඟීම සඳහා තාක්ෂණය කේන්ද්‍ර කරගත් නව විශ්වවිද්‍යාල හතරක් අපි ස්ථාපිත කරනවා.

අභියෝගය එල්ල වන්නේ යමක් ආරම්භ කරන විටයි. ඒ සඳහා අප සතුව දක්ෂතාව තිබෙනවා. නිවැරදි පරිසරයක් ඇත්නම් ඒ සමඟ අපට සාර්ථක විය හැකියි. අප ගමන් කළ යුත්තේ කුමන මාර්ගයක ද යන්න පිළිබඳ තීරණය දැන් ඔබ සතුයි. එනිසා ඔබ නිවැරදි තීරණයක් ගනු ඇතැයි මම විශ්වාස කරනවා.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ සභාපති සරත් ගමගේ, OPA 37 වන සමුළු කමිටුවේ සභාපති සහ සංවිධානය වෙනුවෙන් තේරීපත්ව සිටින සභාපති නීතීඥ සුජීව ලාල් දහනායක, සංගමයේ ප්‍රධාන ලේකම් තිසර ද සිල්වා ඇතුළු නිලධාරී මණ්ඩලය, සාමාජිකයන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.