එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට තම පක්ෂයේ සහාය ලබාදෙන බවට ටී.එම්.වී.පී. පක්ෂ නායකයාගෙන් සහතිකයක්

  • පසෙන් යැපෙන නැගෙනහිර ජනතාව දෙපයින් නගා සිටුවීමේ වැඩපිළිවෙළ ජනපති සතුයි.

රටේ ආර්ථිකය ගොඩනගන අතරම ජනවාර්ගික ප්‍රශ්නයට ද ස්ථීර සාර විසඳුමක් ලබා දෙනවා.

  • ඉදිරි වසර 05තුළ නැගෙනහිර පළාත පුළුල් සංවර්ධනයකට ගෙන ඒමේ අභියෝගය ජය ගන්නවා – ජනපති.

ජනපති සහ එස්. වියාලේන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි සංගමයේ සාමාජිකයන් අතර ද හමුවක්.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ටී.එම්.වී.පී. පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු පාක්ෂිකයින් අතර හමුවක් අද (22) මඩකලපුවේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වුණු අතර එහිදි මේ බව සඳහන් කෙරිනි.

නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලැස්ම සාර්ථක කර ගැනීමට සහාය ලබාදුනහොත් පසෙන් යැපෙන නැගෙනහිර ජනතාවට දෙපයින් නැඟී සිටීමට අවස්ථාව හිමිවන බවද සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ ආර්ථිකය ගොඩනගන අතරම ජනවාර්ගික ප්‍රශ්නයටද ස්ථීර සාර විසඳුමක් ලබා දෙන බවයි. ඒ වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව පැවසු ජනාධිතිවරයා ඉදිරි වසර 05 තුළ නැගෙනහිර පළාත පුළුල් සංවර්ධනයකට ගෙන ඒමේ අභියෝගය තමා භාරගන්නා බවද අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇතිකරන අතරම ජනවාර්ගික ප්‍රශ්නයටද ස්ථීරසාර විසදුමක් සෙවීමට අප කටයුතු කළයුතුයි. ඒ වගේම තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. නැගෙනහිර පළාත අඩු සංවර්ධිත පළාතක්. ඉදිරි වසර 05දීද එම පළාත අඩු සංවර්ධිත පළාතක් ලෙස තැබිය නොහැකියි. ඒ නිසා නැගෙනහිර පළාත දියුණු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි.  එහිදි ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවිය යුතුව තිබෙනවා. ඒ වගේම දිවයිනේ අනෙකුත් නොදියුණු පළාත් ද සංවර්ධනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කරනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා ඉන්දියාව සහ තවත් විදෙස් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ වගේම මෙම ප්‍රදේශවලට නව කර්මාන්ත සහ ආයෝජන ගෙන ඒමට අප කටයුතු කරනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමග අලුත් ඉඩම් වගාකටයුතු සඳහා යොදවනවා. එමඟින් ජනතාවට විශාල ආදායමක් ලබාගැනීමට හැකි වෙනවා.

ඒ වගේම මෙම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර එම කටයුතු ද දියුණු කළයුතුයි. හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ දියුණු කිරීම සමඟ ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, දඹුල්ල සහ අනුරාධපුර යන ප්‍රදේශවල ජනතාවට ද ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම මඩකලපුව ගුවන් තොටුපොළද දියුණු කළයුතුයි. අප මෙම සංවර්ධන අභියෝගය භාරගත යුතුයි. එම අභියෝගය ජයග්‍රහණය කර නැගෙනහිර පළාත දියුණු පළාතක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම ජනවාර්ගික ප්‍රශ්නය තවදුරටත් ඇදගෙන යාමට අවශ්‍ය නොවන අතර අප සියලුදෙනා එක්ව ඊට කඩිනමින් විසඳුම් ලබා දිය යුතුයි.

ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා,

අද දිනය ඉතා සුවිශේෂී දිනයක් බව කිවයුතුයි. නැඟෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ ඉරණමේ සහ අනාගත සංවර්ධනයේ හැරවුම් ලක්ෂය බවට අද දිනය පත්වන බව නොඅනුමානයි.

මඩකලපුව දිස්ත්‍රික්කය ඇතුළු නැඟෙනහිර පළාත කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය මත පදනම්ව පවතිනවා.  මේ පළාතේ ආර්ථිකය දියුණු කිරීමට නම් අප රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් විය යුතුයි. එතුමාට මේ පළාත සංවර්ධනය කිරීම වෙනුවෙන් නිසි සැලැස්මක් තිබෙනවා. ඒ නිසා අප එතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේදී පළාත් සභාව හරහා හැකිතාක් බලය ලබාදිය යුතු බව එතුමා විවෘතව ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමා ඉදිරියේදී එම විසදුම් ලබාදෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එතුමාට අවශ්‍ය ශක්තිය ලබාදීම අපේ වගකීමයි.

ආර්ථික ගැටළුකාරී තත්ත්වයක් හමුවේ වුවද මඩකලපුව දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට එතුමා කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳව ද අපගේ ස්තූතිය එතුමාට පුදකරනවා.

රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය, නිෂ්පාදන ක්ෂේත්‍රය, කෘෂිකාර්මික නවීකරණය, ධීවර ක්ෂේත්‍රය, කර්මාන්ත ක්ෂේත්‍රය, කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය ඉහළ තලයකට ගෙන ඒම සඳහා සැලසුම් සහගතව කටයුතු කිරීමට ශක්තිය, දැනුම සහ හැකියාව ඇති එකම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

එසේම නැගෙනහිර පළාත දියුණු කිරීමට එතුමා තුළ ඇති සැලසුම් ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදුනහොත් පසෙන් යැපෙන නැගෙනහිර පළාතේ ජනතාවට දෙපයින් නැගී සිටීමට අවස්ථාව හිමිවන බව කිවයුතුයි. ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ සහාය ජනාධිපතිතුමාට ලබාදෙන බවට අප සහතික වෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මේ අතර දෙමළ ප්‍රගතිශීලි සංගමයේ නායක රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාගේ නිවසේ පැවති හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය. එහිදි පාක්ෂිකයන් සමඟ මෙන්ම එස්. වියාලේන්ද්‍රන් මහතාගේ පවුලේ සාමාජිකයන් සමඟ ද ජනාධිපතිවරයා සුහද කථා බහක නිරත විය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.