මෙරට පළමු වතාවට කුරුඳු වගාව සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක්

ප්‍රධාන කාර්යාලය ගාල්ල, කරන්දෙණියේ දී ජනපති අතින් විවෘත කෙරේ.

  • රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ ගිලිහී යනවා.
  • රට තුළ කුරුඳු වගාව යළි දියුණු කර අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනපති.

රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අසත්‍ය ප්‍රචාරවලට හසු වුවහොත් ස්ථිර ලෙසම නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බවද අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකළ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (10) පස්වරුවේ එක් වෙමිනි.

මෙරට පළමු වතාවට කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට 2023 අයවැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව යථාර්ථයක් කරමින් එහි ප්‍රධාන කර්යාලය මෙලස විවෘත කෙරිණි.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය දියත් කිරීම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා සකස් කළ දස අවුරුදු මාර්ග සිතියම හා කුරුඳු වගාව සම්බන්ධව සකස් කළ “කුරුඳු අත් පොත” තාක්ෂණික ප්‍රකාශනය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය.

තෝරා ගත් කුරුඳු ව්‍යවසායකයන් වෙත GAP සහ GI සහතික පත් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

වසර 200කට පසු අප නැවත කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කරනවා. ඒ සමඟ දැන් නැවත රට තුළ කුරුඳු වගාව දියුණු කිරීමේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ කුරුඳු වගාව යළි රට තුළ දියුණු කිරීමයි. එහිදී පළමුව සිදු කළ යුත්තේ කුරුඳු නිෂ්පාදනය වැඩි කිරීමයි. එහිදී සෑම අක්කරයකින්ම උපරිම ඵලදාවක් ලබාගත යුතුයි. ඒ වගේම බාල කුරුඳු නොමැතිව ප්‍රමිතියෙන් යුතු කුරුඳු වර්ග වැඩිපුර වගා කළ යුතුයි.

එසේම කුරුඳු වගා කරන භූමි ප්‍රදේශය ද වැඩි කළ යුතුයි. එහිදී අලුතින් ඉඩම් ලබාදීම වගේම තමන්ගේ ඉඩම්වල වෙනත් වගාවන් සමඟ කුරුඳු වගා කිරීමට රජය යෝජනා කරනවා. මෙම පියවර සමඟ කුරුඳු නිෂ්පාදනය තුන් හතර ගුණයකින් ඉහළ නංවාගත හැකියි.

ඒ වගේම කුරුඳු අළෙවිය දවැඩිකළ යුතුයි. අළෙවියක් නැතිනම් නිෂ්පාදනය වැඩි කර ඵලක් නැහැ. ඒ නිසා අළෙවිය වැඩි කිරීමට අවශ්‍ය දේශීය හා විදේශීය උපදෙස් ලබා දීමට පියවර ගත හැකියි. සමාගම් එම වගකීම භාරගන්නවා නම් ඒ අයට සහාය ලබාදීමට රජය අපේක්ෂා කරනවා.

එබැවින් අප නව වෙළෙඳ පොළ අවස්ථා ලබා ගනිමින් ඉදිරියට යා යුතුයි. මෙම ප්‍රදේශයේ කුරුඳු සංවර්ධන මධ්‍යස්ථානයක් බවට මෙම ආයතනය පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පැරණි ක්‍රමය වෙනුවට නවීන ක්‍රමයට එම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. මේ අයුරින් බලන විට අප අනාගතය සොයා, අතීතයට පැමිණ තිබෙනවා.

අපේ රට බංකොලොත්වීමට ප්‍රධාන හේතුව වූයේ ආනයන ආර්ථිකයක රැඳී සිටීමයි. ආනයනය සඳහා අපි විශාල ලෙස ණය ලබාගත්තා. අප ක්‍රියාත්මක කළ නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති සමඟ අද අපට බංකොළොත්භාවයෙන් නිදහස් වීමට හැකි වී තිබෙනවා. ඒ වගේම අපට ගෙවීමට තිබු ණය වලින් ඩොලර් බිලියන 08ක් පමණ අඩු කර තිබෙන අතර ණය ගෙවීමට 2043 දක්වා කාලය ලබා දී තිබෙනවා. අප අපනයන ආර්ථිකයකට ගමන් නොකළහොත් තවත් වසර 15කින් නැවත අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. එසේ නම් අප කඩිනමින් නව ආර්ථික ක්‍රමයකට යා යුතුයි. එහිදී අප අපනයන ආර්ථිකයක් තුළින් විදේශ විනිමය උපයා ගැනීමට කටයුතු කළයුතුයි.

එදා අප ලෝකයට කුරුඳු ලබා දුන්නා. දැන් අප නැවත ඊට යොමු විය යුතුයි. එදා පුත්තලමේ සිට හම්බන්තොට දක්වා කුරුඳු වගා කළා. අප සැලැස්මක් අනුව එම කටයුතු නැවත ආරම්භ කළ යුතුයි. ඒ වගේම තොරතුරු තාක්ෂණය ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ නව ආයෝජන ලබා ගැනීම වෙනුවෙන් ද අප කටයුතු කරමින් සිටිනවා.

වසර දෙකකට පෙර රටේ තිබු තත්ත්වය මම අමුතුවෙන් කිවයුතු නැහැ. ඇතැම් අය කිව්වා මේ රට ගොඩගන්න බැහැ කියලා. මම බලයට තන්හාවෙන් පැමිණියා කිව්වා. දැන් කෙසේ හෝ අපි රට ගොඩ අරගෙන තිබෙනවා. අප නිවැරදි මාර්ගයේ ගමන් නොකළහොත් මෙම ජයග්‍රහණය අප අතින් ගිලිහි යා හැකියි. අප දැන් මේ රට ඉදිරියට ගෙන යා හැකි මාර්ගය පෙන්වා දී තිබෙනවා. විවිධ පිරිස් විවිධ දේවල් කියනවා. විවිධ දිව්‍යලෝක පොරොන්දු ලබා දෙනවා. නමුත් රට ලැබූ ජයග්‍රහණය ආරක්ෂා කරගෙන ඉදිරියට යාම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා අප මෙම නිවැරදි මාර්ගයේ තවත් වසර 10ක් ඉදිරියට ගමන් කළොත් අපට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දියුණු වීමට අවස්ථාව තිබෙනවා.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාමේෂ් පතිරණ මහතා,

කුරුඳු වැඩිපුර වවන ප්‍රදේශයක කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වෙනවා. ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කුරුඳුවලට විශේෂ ස්ථානයක් හිමිවී තිබෙනවා. මෙක්සිකෝවේ මෙන්ම ලතින් අමෙරිකානු රටවල ශ්‍රී ලංකාවේ කුරුඳුවලට විශාල ඉල්ලුමක් පවතිනවා. එම කුරුඳු බොහෝමයක්ම ප්‍රතිඅපනයනය කරන්නෙ අමෙරිකාවටයි. ලෝකයේ කුරුඳු වෙනුවට භාවිතා කරන කැෂියා බෝගය පිළිකාකාරක බව බොහෝමයක් දෙනා දන්නෙ නැහැ.එම නිසා නිවැරදි වෙළඳකරණය මඟින් ශ්‍රී ලංකාවේ කුරුඳුවලට වැඩි වටිනාකමක් ලබාගත හැකියි.

කෘෂිකර්ම හා විවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

කර්මාන්ත අමාත්‍යංශයේ ආයතනයක් ලෙස දකුණු පළාතේ බිහිවන පළමු දෙපාර්තමේන්තුව ලෙස කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ඉතිහාසගත වෙනවා. මෙම දෙපාර්තමේන්තුව මඟින් කුරුදු වගාවට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම ලබාදීමට කටයුතු කෙරෙනු ඇතියි. නව වගා බිම් ප්‍රමාණයක් හඳුන්වා දෙමින් කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමටද බලාපොරොත්තු වෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව කුරුදු වගාවට කැමැත්තෙන් සිටිනවා. එමඟින් වන අලින්ගෙන් සිදුවන උවදුරු අවම කර ගැනීමට පුළුවන්. කැෂියා වල තිබෙන ඒකාධිකාරය සහ පිළිකාකාරක බව පිළිබඳ ලෝකය දැනුවත් කරමින් ලෝකයට හොඳ කුරුඳු ලබාදීමට අප කටයුතු කළ යුතු යි. එයින් විශාල ලෙස විදේශ විනිමය ඉපැයීමට හැකියාව තිබෙනවා.

මීට වසර දෙකකට පෙර පොහොර නැතුව ගොවීන් ගොවිබිම් අතහැර මහ පාරට පැමිණියා. නමුත් ජනාධිපති ධූරය ලබා ගැනීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා එතුමාගෙ තිබෙන විදේශ සබඳතා මත පොහොර ලබා ගැනීමට කටයුතු කළා. එම වැඩපිළිවෙළ නිසා අද වන විට ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට හැකිවී තිබෙනවා. සමස්තයක් ලෙස ගත් විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් මගකට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට හැකි වුණා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ඩී.බී.හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරළ යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.