ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතුයි
- එහිදී විශ්වවිද්‍යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙනවා.
- ඉදිරි වසර 05 තුළ කෘත්‍රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්‍රයකටම ව්‍යාප්ත කිරීම අරමුණයි.
- රටේ ආර්ථිකය රැක ගැනීමට නම් අපනයන ආර්ථිකයක් කරා කඩිනමින් පරිවර්තනය විය යුතුයි.
- එදා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු කළ වැරැද්ද නැවත සිදු කරන්න එපා- ජනපති.
ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එම වැඩපිළිවෙළ ඉදිරි වසරේදී ආරම්භ කරන බවත් වසර 05ක් තුළ කෘත්‍රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්‍රයකටම ප්‍රවර්ධනය කිරීම අරමුණ බවත් පැවසූ ජනාධිපතිවරයා එහිදී විශ්වවිද්‍යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ AI තාක්ෂණය හෙවත් කෘත්‍රීම බුද්ධිය මෙරටට හඳුන්වාදීම පිළිබඳව විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් සමඟ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් අප ආනයන මත යැපෙන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් කරා කඩිනමින් පරිවර්තනය විය යුතු බවයි.
මෙරට විදේශ ණය ගෙවීම සඳහා 2027 සිට 2040 දක්වා කාලය ලැබී ඇති බවත්, 2035 වන විට මෙරට ආර්ථිකයේ සැලකිය යුතු පරිවර්තනයක් ඇති කිරීම එහි කොන්දේසියක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගන්නේ එම ආර්ථික ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් බවද අවධාරණය කළේය.
AI තාක්ෂණය හෙවත් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්‍යාර්ථයන් එක්ව සකස් කළ යෝජනාවලිය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
විශ්වවිද්‍යාල කිහිපයක් විසින්ම AI තාක්ෂණය භාවිතයෙන් ව්‍යාපෘති ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව මෙහිදී පෙන්වා දුන් විද්‍යාර්ථයින් එම ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ ඉලක්ක පිළිබඳව ද ජනාධිපතිවරයාව දැනුවත් කළහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
ශ්‍රී ලංකාවට තාක්ෂණයෙන් ඉදිරියට යාමට සිදු වෙනවා. නවීන තාක්ෂණය අතින් අප සිටින්නේ බොහෝ පසුපසින්. අප තාක්ෂණ දැනුම ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා ප්‍රමාණවත් අයුරින් යොදා ගන්නේ නැහැ. දැන් තිබෙන අලුත්ම තාක්ෂණය AI තාක්ෂණය හෙවත් කෘත්‍රීම බුද්ධියයි. අපට ඒ සම්බන්ධයෙන් පසුගාමී විය නොහැකියි.
අප කෘත්‍රීම බුද්ධිය (AI) සමඟ ඉදිරියට ගියහොත්, අනෙකුත් තාක්ෂණයන් ද ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මොකද කෘත්‍රීම බුද්ධිය (AI) මඟින් අනෙකුත් සියලුම තාක්ෂණයන් ආවරණය වෙනවා.ඒ නිසා අපි කෘත්‍රීම බුද්ධිය (AI) භාවිතා කරන අන්දම අනුව අපට රටක් වශයෙන් ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා. අප එදා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු කළ වැරැද්ද නැවත සිදු නොකළ යුතුයි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දී අප සෑම අවස්ථාවකදීම අවධානය යොමු කළේ ව්‍යාපෘති පිළිබඳ මිස ඒවායේ යෙදුම් පිළිබඳ නොවෙයි. ඒ නිසා අප එය ජාතික වශයෙන් ක්‍රියාත්මක කළේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස අද අප ඇතැම් රටවලට වඩා තාක්ෂණය අතින් පසුපසින් සිටිනවා.
1984 දී මම පරිගණක අධ්‍යාපනය රට තුළ ආරම්භ කරන විට, සින්ක්ලෙයාර් පරිගණක රටට හඳුන්වා දුන්නා. නමුත් අපි එය නිසි ලෙස ව්‍යාප්ත කළේ නැහැ. ඒ සදහා අපට බොහෝ කාලයක් ගත වුණා. ඒ අතීත අත්දැකීම් අප මතක තබා ගත යුතුයි.
ඒ අනුව කෘත්‍රීම බුද්ධිය හෙවත් (AI) තාක්ෂණය රට තුළ ව්‍යාප්ත කිරීමට අදාළ කටයුතු තාක්ෂණ අමාත්‍යාංශය මගින් සිදුකරගෙන යනවා. ඒ වගේම ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය පිහිටුවීමට අප කටයුතු කරනවා. ඩිජිටල්කරණය හරහා සමාජ හා ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතුයි. ඒ නිසා මෙම වැඩපිළිවෙළ ව්‍යාපෘතියකින් ඔබ්බට ගමන් කරනවා. මේ අනුව අපට ඩිජිටල් ආර්ථිකයක් ලබා ගත හැකියි.
ආර්ථික කොමිෂන් සභාව සහ මුදල් අමාත්‍යාංශය මෙම වැඩපිළිවෙළේ ප්‍රමුඛත්වය ගන්නා අතර ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් ද ආරම්භ කෙරෙනවා. ඒ තුළ ජාතික කෘත්‍රීම බුද්ධි මධ්‍යස්ථානය නමින් වෙනම ස්වාධීන ආයතනයක් ද නිර්මාණය වනු ඇතියි. ඒ සඳහා ඔවුන්ගේම අධ්‍යක්ෂවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් වෙනවා.
මෙම ආයතන පද්ධතිය ඇති කිරීමේ පනත ද මේ වන විට කෙටුම්පත් වෙමින් පවතිනවා. එයින් බාහිරව තාක්ෂණික සංවර්ධන කවුන්සිලය පවතිනවා. මෙහිදී අප වාණිජමය පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමට මුදල් යොදවනවා. අපි සාර්ථක වන බවට සහතිකයක් ලබා ගැනීමට හැකි එකම ක්‍රමවේදය එයයි.
මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් අප මුදල් වෙන් කළත් එයින් වැඩි කොටසක් ප්‍රයෝජනයට ගෙන නැහැ. නමුත් අප ලබන වසර සඳහාත් අප මේ ආකාරයෙන්ම මුදල් වෙන් කරනවා. අපි මෙම වැඩපිළිවෙළ සඳහා පෞද්ගලික අංශය ද උපරිමයෙන් දායක කර ගැනීමට කටයුතු කරනවා.
කෘත්‍රීම බුද්ධිය (AI ) ව්‍යාප්ත කිරීම සඳහා පාසල්වල කෘත්‍රීම බුද්ධි සමාජ (AI Societies) ආරම්භ කරන ලෙස මම දැනුම් දී තිබෙනවා. ඒ වගේම අපට විශ්වවිද්‍යාල තුළ ද කෘත්‍රීම බුද්ධිය උපරිමයෙන් භාවිතයට ගැනිම අවශ්‍යයි. ප්‍රධාන වශයෙන්ම තාක්ෂණය මත පදනම් වූ නව විශ්වවිද්‍යාල 4ක් පිහිටුවීමට අප සැලසුම් කර තිබෙනවා. ඉංජිනේරු පීඨ නොමැති විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨ ආරම්භ කිරීමටත් කටයුතු කරනවා.
ඊළග වසර 05 තුළ කෘත්‍රීම බුද්ධිය උපරිමයෙන් භාවිතයට ගැනීම අපගේ ඉලක්කයයි. එම වැඩපිළිවෙළ ලබන වසරේදී ආරම්භ කරනවා. ආනයනය මත යැපෙන ආර්ථිකයක සිට අපනයනය මත යැපෙන ආර්ථිකයක් කරා අප පරිවර්තනය විය යුතු නිසා එය ඉතාම අවශ්‍ය වෙනවා.
අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන සාකච්ඡා මේ වන විට අවසාන අදියරේ පවතිනවා. අපිට පවතින ණය ගෙවීම සඳහා 2027 සිට 2040 දක්වා කාලයක් ලබා දී තිබෙනවා. ඒ නිසා 2035 වන විට අපි ආර්ථිකයේ සැලකිය යුතු පරිවර්තනයක් සිදු කළ යුතුයි.
එහිදී කෘත්‍රීම බුද්ධිය ප්‍රධාන භූමිකාවක් ඉටු කළ යුතුයි. කෘත්‍රීම බුද්ධි තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමට අප උත්සාහ කරන්නේ එම නිසයි. මෙම ආර්ථික සංවර්ධන අරමුණ ජයග්‍රහණය නොකළහොත් අපේ රටට අනාගතයක් නොමැති බව ඔබ සියලුදෙනා මතක තබා ගත යුතුයි.
ඒ වගේම කෘත්‍රීම බුද්ධිය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. අප දකුණු ආසියාව තුළ එහි සුවිශේෂ සලකුණක් තැබීමට නම් අප ඊට වැඩි ප්‍රතිශයකින් නැඹුරු විය යුතුයි. ඒ වගේම කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේදී ද මෙය අපට වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම කෘත්‍රීම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ කිරීමට ද රජයේ අවධානය යොමුව තිබෙනවා.
AI තාක්ෂණය භාවිතා කර ප්‍රථම රූපවාහිනි වැඩසටහන සම්පාදනය කළ ජාතික රූපවාහිනියේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විද්‍යාර්ථයන් ද, තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.