ජනපති උදයන් පුවත්පතේ කාර්ය මණ්ඩලය හමු වෙයි

ජනවාර්ගික ගැටළුවට ස්ථිර විසඳුමක් අවශ්‍ය බව තමන්ද පිළිගන්නා නමුත් මේ අවස්ථාවේ කළ යුතුව ඇත්තේ ජාති, ආගම් බේදයෙන් තොරව රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එක්වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (03) පෙරවරුවේ යාපනය උදයන් පුවත්පතේ කාර්යාලයේදී එහි කාර්ය මණ්ඩලය සමඟ හමුවකට එක් වෙමිනි. පළාතේ සෙසු මාධ්‍යවේදින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය අතරතුර දී මෙම හමුවට එක් විය.

එහිදී උදයන් පුවත්පතේ ප්‍රධාන විධායක නිළධාරි පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනභවන්, ප්‍රධාන කර්තෘ තා. ප්‍රභාකරන් යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයාව ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

අනතුරුව මාධ්‍යවේදින් සමඟ සුහද කථා බහකට එක්වූ ජනාධිපතිවරයා ඔවුන් මතු කළ ප්‍රශ්න කිහිපයකට ද සාධනීය පිළිතුරු ලබා දුන්නේය.

රටේ ප්‍රධාන ප්‍රශ්නය බවට පත්ව තිබුනේ රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජූනි මාසයේදී එම ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වූ බැවින් මේ වන විට අනෙක් ගැටළුවලට විසඳුම් ලබාදීම පිළිබඳ අවධානය යොමු කිරීමට අවස්ථාව ලැබී ඇති බවද සඳහන් කළේය.

පසුගිය දින දෙක පුරා තමා යාපනයේ සිදු කළ සංචාරයේ දී මුණ ගැසුණු තරුණ තරුණියන්ගේ මූලික ඉල්ලීම් වුයේ රැකියා ලබා ගැනීම සහ අනාගත ස්ථාවරභාවය බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා උතුර සහ දකුණ කියා තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන්හි වෙනසක් නොවන බවද පැවසීය.

පළාත් සභා ශක්තිමත් කරමින් ඒ ඒ පළාත්වල සංවර්ධනය වෙනුවෙන් පුළුල් අවකාශයක් ගොඩනගාදීම තම අරමුණ බව ද සඳහන් කළ ජනාධිපතිවරයා එම සෑම පළාතක් වෙනුවෙන් මධ්‍යම රජයේ සහාය ලබා දීමට කටයුතු කරන බවද වැඩිදුරටත් කියා සිටියේය.