2024 නව අවුරුදු සුබපැතුම් පණිවිඩය

2024 නව වසරට අප පිය නගන්නේ ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමේ අභියෝගය හා අපේක්‍ෂාව හදැතිව ය.

දහසකුත් එකක් පුද්ගලික අපේක්‍ෂාවන් අප සැම තුළ තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපගේ මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය ය.

පසුගිය වසර පුරා ඔබ කළ කැපවීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට අපට හැකි විණි.

නමුත් ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මේ මගෙහිම තවත් ඉදිරියට යා යුතු වෙයි. එය මල් ඇතිරූ සුමුදු මගක් නොවේ. අභියෝගාත්මක දුෂ්කර ගමනකි.

මෙහිදී සියළු ලාංකිකයන් වෙත වගකීමක් පැවරෙයි. රට යළි ගොඩ නැංවීම වෙනුවෙන් ඉටු කළ යුතු ඒ වගකීම නිසි ලෙස හඳුනා ගැනීම අප සතු කාර්යයකි.

ජනවාරි මාසයට නම් තැබුණේ ජේනස් නම් දෙවියෙකුගේ නමිනි. ජේනස් දෙවිඳුන්ට ඉදිරිය පමණක් නොව පසුපස ද බැලීමට මුහුණු දෙකක් වී ලූ.

එහෙයින් අනාගතය දෙස පමණක් නොව අතීතය ද විමසා බලා අපි එකිනෙකාගේ වගකීම් හඳුනා ගනිමු. රට වෙනුවෙන් එම වගකීම් ඉටුකොට අපේ මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට මේ නව වසරේ අදිටන් කර ගනිමු.

වගකීමෙන් යුතුව වෙහෙසීමෙන් හා කැපවීමෙන් කටයුතු කරමු. එමගින් නව වසර සෞභාග්‍යවත් කර ගනිමු.

රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.