ජාතික ඉෆ්තාර් උත්සවයට වැය කෙරෙන මුදල් ගාසා තීරයේ ගැටුම් හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් – ජනපතිගෙන් උපදෙස්

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන මෙම අරමුදලට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම මේ සඳහා ජනතාවගේ දායකත්වය ද අපේක්ෂා කරන අතර විපතට පත් දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබා දීමට නියමිතය.

රාමසාන් මාසය තුළ “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)” සඳහා දායක වීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාගයන් අප්‍රේල් මස 11 වනදාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ රිසිට්පත 077-9730396 වෙත Whatsapp හරහා යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටියි.