වෙනස්වන ගෝලීය භූ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීමට හැකිවන උපායමාර්ගික සැලැස්මක වැදගත්කම ජනපති අවධාරණය කරයි
- ගෝලීය කැලඹීම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර.
ඉන්දියන් සාගරය කිසිදු ලෝක බලවතෙකුගේ තනි ආධිපත්‍යයකට නතු නොවී පවතින බව සහතික කිරීම සඳහා ආර්ථික, දේශපාලන සහ විදේශ සබඳතා යන ප්‍රතිපත්තිමය සාධක මත පදනම් වූ පුළුල් උපායමාර්ගික සැලසුමක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
එය ගෝලීය වශයෙන් සිදුවන කැළඹීම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට පිටුවහලක් වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, රත්මලාන ඊගල් ලේක් සයිඩ් පරිශ්‍රයේ ඊයේ (21) පැවැති ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය අමතමිනි.
මෙහිදී ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන පාඨමාලව සාර්ථකව සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 36 දෙනෙකු වෙත උපාධි පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණ.
ජාතික ආරක්ෂක විද්‍යායතනයේ වාර්ෂික ග්‍රන්ථයේ පළමු මුද්‍රණය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු වූ අතර, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනා විධායක මේජර් ජෙනරල් ඩී. ජී. එස්. සෙනරත් යාපා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ආරක්ෂක ක්ෂේත්‍රය පැතිරී පවතින පුළුල් පරාසය හඳුනා ගනිමින් සාමාන්‍ය ජනතාව හා රජයේ නිලධාරීන් සඳහා ද කෙටි කාලීන පාඨමාලා පැවැත්වීමේ වැදගත්කම පෙන්වාදුන් අතර විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පුළුල් ජාතික ආරක්ෂක උපාය මාර්ගයක් සකස් කළ යුතු බව ද සඳහන් කළේය.
දෙවන ලෝක යුද්ධ සමයේ අද්මිරාල් එඩ්වින් තෝමස් ලයිටන් මහතාගේ නිවහන වූ වත්මන් ජාතික ආරක්ෂක විද්‍යාල ගොඩනැගිල්ල, 1942 දී ආරම්භ වූ දෙවන ලෝක යුද්ධයේදී ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ගනු ලැබූ උපායමාර්ගික තීරණ පිළිබඳ සාකච්ඡාවලදී කේන්ද්‍රස්ථානය බවට පත්වූ බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
එම වකවානුව තුළ එහි සිට ගනු ලැබූ තීරණ, ඉන්දියානු සාගරයේ බ්‍රිතාන්‍ය පාලනය පවත්වාගෙන යාම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දෙවන ලෝක සංග්‍රාමයට පසු යුගය තුළ සිටි මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වැනි නායක නායිකාවන් ඉන්දියන් සාගර කලාපය ලෝකයේ මහා බල එදිරිවාදිකම්වලින් මුදවා තබා ගැනීමේ අරමුණ සඳහා පෙරමුණ ගත් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය. එම දැක්ම පසු කාලීනව බැන්ඩුන්ග් සම්මේලනයේ දී සහ ජකර්තා ප්‍රකාශය මගින් අනුමත කරමින් ස්වාධීන ස්ථාවරයකින් ජාත්‍යන්තර සබඳතා පැවැත්වීමට ඇති කැපවීම පිළිබිඹු කළ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
ගෝලීය වශයෙන් භූ දේශපාලනික වෙනස්කම්වලට භාජනය වන විට, ඒකධ්‍රැවීය ලෝකයක සිට වඩාත් සංකීර්ණ හා ඒකාබද්ධ ලෝකයක් වෙත පරිවර්තනය වන බවත්, ජනාධිපති බයිඩන් යටතේ එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තියේ මෑතකාලීන වෙනස්කම් එම තත්ත්වය තවත් සංකීර්ණ කිරීමට හේතු වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
G7 සහ සිව්පාර්ශ්වීය ආරක්ෂක කතිකාව (Quad) වැනි සන්ධාන බිහිවීම, ගෝලීය පිළිවෙල තුළ චීනයේ ගමන්මග යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම වෙනස් වන භූ දර්ශනය තුළ ශ්‍රී ලංකාව උපායමාර්ගික වශයෙන් දක්ෂ ලෙස හැසිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
යුක්‍රේන යුද්ධය, චීනයේ නාවික බලය සහ ඊශ්‍රායලයේ පවතින ගැටුම් ආශ්‍රිත පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වයංපෝෂිතභාවය ද පවත්වා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව සඳහා ජිනීවා වැනි සාම්ප්‍රදායිකව අවධානය යොමුවන ක්ෂේත්‍රවලින් ඔබ්බට දිවෙන විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව ද අවධාරණය කළේය.
ගෝලීය දකුණේ සමාන අදහස් ඇති ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මෙම සන්දර්භය තුළ තීරණාත්මක වන බවද ජනාධිපතිවරයා පැවසීය.
2030 වන විට හරිත හයිඩ්‍රජන් ක්ෂේත්‍රය සඳහා ඩොලර් බිලියන 10 ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ඉලක්කය පිළිබඳ සාකච්ඡා සඳහා තමන් සහභාගී වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍ය බව ද පැවසීය.
දේශගුණික විපර්යාස සහ වෙළෙඳාම වැනි ජාත්‍යන්තර ගැටලු සඳහා විසඳුම් සෙවීම G77 රාමුව තුළ සිදුකිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එසේම එළැඹෙන ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත නොබැඳි ජාතීන්ගේ සමුළුව සහ G77 සමුළුවේදී ගෝලීය දකුණට එම අරමුණු නැවත අර්ථ දැක්වීමට සහ ගෝලීය සාමය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණාත්මක වේදිකාවක් සපයනු ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අනාගතය දෙස බලමින් සකස් කරනු ලබන ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂක සමාලෝචනය පිළිබඳ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආරක්ෂාව, ආර්ථිකය මෙන්ම පරිසරය වැනි මෙතෙක් කාලයක් නොසලකා හරින ලද ක්ෂේත්‍රයන් පිළිබඳ සොයා බලා ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වන ගෝලීය භූ දර්ශනය තුළ ශ්‍රී ලංකාව ද සිය ගමන් මඟ සලකුණු කරන විට, පුළුල් පරාසයක් තුළ පැතිරුණු ඔරොත්තු දීමේ හා ඉදිරි දැක්මක් සහිත ජාතික උපායමාර්ගයක් සකස් කර ගැනීම වැදගත් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, විදෙස් හමුදා නිලධාරීන් ඇතුළු ආරාධිතයන් සහ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ උසස් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.