අපි පැනලා යන්නේ නෑ, අපි UNP කාරයෝ... - ජනපති

රට ණය බරින් බේරාගෙන ඉදිරියට ගෙනයාම සඳහා තමාට සහයෝගය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලු දෙනා බෙදුනු බවත් සමහරුන් සමගි ජන බලවේගයට ඡන්දය ලබාදුන් අතර සමහරුන් ඡන්දය දීමෙන් වැලකී සිටිය අතර තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබාදුන් බවත් නමුත් අද ඇත්තේ එක් පක්ෂයක් බවත් ඒ එක්සත් ජාතික පක්ෂය බවයි “සැබෑව” ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
මැයි 9 අරගලයෙන් පසු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් අනතුරුව කිසිවෙක් එය භාර ගැනීමට ඉදිරිපත් නොවූ අතර තමන් ඔවුන් කිසිවෙකුට දොස් පැවරීමක් සිදු නොකරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
තමා මැයි 9 සිද්ධිය සිදුවන අවස්ථාවේ සිටියේ ෂැංග්‍රිලා හෝටලයේ විවාවහ මංගල උත්සවයකට සහභාගී වෙමින් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තමන් එම අවස්ථාවේදී අගමැති ධූරය භාරගත් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාම සහ සමඟි ජන බලවේගයට ඡන්දය දුන් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වෙන ලෙසයි ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.