අනාගත අභියෝගවලට මුහුණුදිය හැකි දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් ගොඩ නගනවා – ජනපති

අනාගත අභියෝගවලට මුහුණදිය හැකි දැනුමින් හා පුහුණුවෙන් සන්නද්ධ  තරුණ පරපුරක් බිහි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

රටේ තරුණ තරුණියන්ට‌ ඉහළ ආදායම් මාර්ගයක් ඇති කිරීමට අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙළ මේ වන විට  ක්‍රියාත්මක කරමින් සිටන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, යොවුන් සේනාංකයේ තරුණ තරුණියන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) හමුවූ අවස්ථාවේදී ය.

යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර්  සුජීව රත්නායක මහතා  විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණියක් පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

යොවුන් සේනාංකය ආරම්භ  වී මේ වන විට  වසර 22ක් ගතව තිබෙනවා. මෙම යොවුන් සේනාංකය ආරම්භ කළේ  එදා තිබුණු ආර්ථික සමාජ ක්‍රමයට ගැලපෙන ආකාරයටයි. කාලය සමඟ යොවුන් සේනාංකයත් වෙනස් විය යුතුයි.

තරුණයින්‌ට හොඳ අනාගතයක් නිර්මාණය කර දීමට මෙන්ම හොඳ ආදායම් තත්ත්යක් නිර්මාණය කරදීම කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පරිදි යොවුන් සේනාංකය වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි.

ඉහළ ආදායම් තත්ත්වයක් ලැබෙන රැකියාවලට තරුණයින් කැමැතියි.  ඒ නිසා එම තත්ත්වය ඇති කිරීමට අප සැලසුම් සකස් කළ යුතුයි.  ඒ වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙනවා. එමඟින් 2027 වසර වන විට විරැකියාව අඩු කර ගැනීමට හැකි වෙනවා වගේම 2035 වසර වනවිට ඉහළ ආදායම් ලබන රැකියා ක්ෂේත්‍ර ගණනාවක් බිහි කළ හැකියි. 2048 වසර වන විට දියුණු රාජ්‍යයක් මෙමඟින් බිහි වෙනවා. අද මෙතන සිටින යොවුන් සේනාංක සිසුන්ට ඒ වනවිට වයස අවුරුදු 50ක්වත් නැහැ. නව ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කළ යුතුයි. වියට්නාමය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල් අපනයන ආර්ථිකයක් පදනම් කරගෙන සංවර්ධනය  පිළිබඳ  අප අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා අපනයන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැඟීමට අප කටයුතු කළ යුතුයි.

ඒ වගේම සීඝ්‍රයෙන් දියුණු කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. සංචාරක ක්ෂේත්‍රය, සුහුරු කෘෂිකාර්මික ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණය වැනි     ක්ෂේත්‍ර දියුණු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. යොවුන් සේනාංකයේ සිසුන් මේ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. හරිත සමාජයක් හරිත ආර්ථිකයක් ඇති කිරීම තුළින් අනාගත අභියෝගවලට මුහුණදිය හැකි දැනුමින් හා පුහුණුවෙන් හෙබි තරුණ පරපුරක් බිහි කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. වෘත්තීය පුහුණුව සහිත තාරුණ්‍යයක් ඇති කර රටේ ආර්ථිකය නව මානයකට ගෙන යාමට කටයුතු කළ යුතුයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා,

අනාගතයට සරිලන තරුණයා බිහි කිරීම වෙනුවෙන් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව යොවුන් සේනාංකය 2002 වසරේ බිහි වුණා. එදා  මධ්‍යස්ථාන අටකින්  ආරම්භ වූ යොවුන් සේනාංකය අද වන විට  මධ්‍යස්ථාන 57 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වී තිබෙනවා.  අනාගත ලෝකයට සරිලන තරුණයා තෝරාගෙන ඊට අදාළ මඟ පෙන්වීම සිදු කරමින් අභියෝග බාර ගත හැකි නායකත්වයක් කරා තරුණයාව මෙහෙයවීම යොවුන් සේනාංකය මගින් සිදුකළා.

නමුත් ආණ්ඩු මාරුවීමෙන් පසුව යොවුන් සේනාංක සංකල්පය ඉදිරියට වර්ධනය කෙරුණෙ නැහැ.  යොවුන් සේනාංකවලින් බිහි වූ තරුණයින්ට නිසි වටිනාකම් ලබාදෙමින් ජාතික ආර්ථිකයට ඔවුන් දායක කර ගැනීමට කටයුතු කළා නම් මීට වඩා යහපත් ආර්ථිකයක් බිහි කර ගැනීමට හැකියි. නමුත් 2015 වසරේ  රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස යළිත්  යොවුන් සේනාංකය බලගැන්වුවා. ‍

2020වසරෙන් පසුව රටට  බලපෑ කොවිඩ් වසංගතය මෙන්ම ආර්ථික අර්බුදය සල්ලි තිබෙන අයට හෝ සල්ලි නොමැති අයට කියා විශේෂයක් කළේ නැහැ. එම කාලවකවානුවේදී සියලු දෙනාට එක ලෙස පීඩා විඳීමට සිදුවුණා. එම ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට කිසිම නායකයෙකු එදා ඉදිරිපත් වුනේ නැහැ. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ තත්ත්වය හමුවේ රට භාරගෙන සැමට ජීවත් විය හැකි ආර්ථිකයක් නිර්මාණය කිරීමට කටයුතු කළා. තරුණයින්ට රැකියා අවස්ථා ඇති කිරීමටත් ඔවුන්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායක කරගැනීමේ වැඩපිළිවෙළක්  සකස් කිරීමටත්  එතුමා කටයුතු කරමින් සිටිනවා.

රට සංවර්ධනය කිරීමට අවශ්‍ය සෑම ක්ෂේත්‍රයකටම අදාළ දක්ෂතාවයෙන් සහිත තරුණයන් බිහි කර ගැනීමට යොවුන් සේනාංකය හරහා සිදුකළ හැකියි. ඊට අදාල පුහුණු වීම් ලබාදීමට යොවුන් සේනාංකයේ මධ්‍යස්ථාන මඟින් කටයුතු කරමින් තිබෙනවා. වරාය, සංචාරක, පරිගණක  සහ භාෂා ක්ෂේත්‍රවලින් ආර්ථිකය ජය ගැනීම සඳහා

තරුණ පරපුර හැඩගැසීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා යොවුන් සේනාංකයෙන් මහඟු පිටිවහලක් ලබාගත හැකියි. ඉදිරියේදී ඇතිවිය හැකි දේශගුණ විපර්යාස පිළිබඳව සොයා බැලීමට  එම ක්ෂේත්‍රය සඳහා තරුණයන් යොමු කිරීමටද යොවුන් සේනාංකය හරහා සිදු කළ හැකියි.

සියල්ල වෙනස් වෙමින් අනාගතයට සරිලන කණ්ඩායම් බිහිකිරීමේදී අනාගත අභියෝගය වලට හුරු කිරීමට ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව වෙනසකට ලක් කිරීමට ද බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට අදාළ නවීන තාක්ෂණික හා  භාෂා ඥානය   ලබාදීමට කටයුතු කරනවා. අනාගතයේදී ඇතිවිය හැකි පරිසර තර්ජන පිළිබඳ අවධානයට ලක් කරමින් ඊට විසඳුම් ලබාදීමටද බලාපොරොත්තු වෙනවා. ඉන්දීය සාගර කලාපයේ  භෞමික  අඛණ්ඩතාවය රැකගෙන නැව් ගමනා ගමන මාර්ගයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරනවා.

යොවුන් සේනාංකයේ සභාපති  චතුරංග උඩවත්ත,  යොවුන් සේනාංකයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් චන්න ගුණතිලක  යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.