උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුම් ලබා දීමට “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් අරඹනවා

  • සිවිල් යුද්ධය අවසන් : දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ජය ගනිමු.
  • ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කරනවා  – තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කරමින් ජනපති පවසයි.

දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “යාපනය – කිලිනොච්චි” ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වන විට වසර 15ක් ගත වී ඇති බවත්, දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බවත්ය. ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීම තම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා එහි සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවද කියා සිටියේය.

යාපනය – කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කෙරේ.

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජය 2011 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ ප්‍රංශ සංවර්ධන බැංකුවේ (AFD) ආධාර ඇතිව යාපනය-කිලිනොච්චි දිස්ත්‍රික් ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (JKWSSP) දියත් කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පුද්ගලයන් 300,000 කට පිරිසිදු පානීය ජලය සැපයීම සහ 80,000 ක ජනතාවක් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමයි.

මෙහිදී මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීම සඳහා වන කම්හල ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් 2017 වසරේදී ගිවිසුමකට එළැඹෙන ලදී.මේ වන විට, උස් ජල ටැංකි විස්සක් (සංඛ්‍යා 20) ඉදිකිරීම, සම්ප්‍රේෂණ නළ මාර්ග කිලෝමීටර 186ක් සැපයීම හා එළීම මෙන්ම බෙදා හැරීමේ නල මාර්ග කිලෝමීටර් 382ක් සම්පූර්ණ කර ඇත.

මෙම ලවණ ඉවත් කිරීමේ කම්හල සඳහා කොන්ත්‍රාත්තුව 2021 වසරේ ජනවාරි මාසයේදී ප්‍රදානය කර තිබේ. ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 266ක් වන අතර යාපනය-කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය 2025 මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

මෙම ජල පවිත්‍රාගාරය ලංකාවේ ප්‍රධාන ජල පවිත්‍රාගාරය ලෙස ආරම්භ කෙරෙනවා. මෙම පවිත්‍රාගාරය ඉදිකිරීම සඳහා අවශ්‍ය භූමිය ලබාදුන් මෙම ප්‍රදේශයේ ජනතාවට මම ස්තූතිවන්ත වෙනවා. මෙම ගම්මානයට ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් වෙනම ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එය ඉටුකරන ලෙස මම ආණ්ඩුකාරතුමියට උපදෙස් ලබා දෙනවා. මේ පවිත්‍රාගාරය ආරම්භ කිරීමත් සමඟ යාපනයේ පානීය ජල ගැටළුවට බොහෝ දුරට විසඳුම් ලැබෙනවා. ඉදිරියේ පුනරින් ප්‍රදේශයට ජලය ලැබෙන පාලිආරු ජලාශයේ කටයුතු ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම යාපනයට ගංගාවක් වැඩසටහන ආරම්භ කිරීමට ද මම තිරණය කර තිබෙනවා. මේ පවිත්‍රාගාරය සහ යාපනයට ගංගාවක් වැඩසටහන ක්‍රියාත්මක වූ විට යාපනයේ ජල ප්‍රශ්නය සම්පුර්ණයෙන් විසඳෙනවා. එවිට වඩමාරච්චි ප්‍රදේශය නැවත සශ්‍රික ප්‍රදේශයක් බවට පත් වෙනවා. ඒ වගේම මෙම පානීය ජලය සඳහා අප මුදල් ගෙවිය යුතුයි. සුර්ය බලශක්ති ව්‍යාපෘති මගින් එම පිරිවැය අඩුකර ගැනිමට අප සැලසුම් කර තිබෙනවා. මෙම ප්‍රදේශයට බිංදු ජල සම්පාදනය (Drip Irrigation) වැනි වාරිමාර්ග ක්‍රම ගෙනවිත් නවීන කෘෂිකර්මාන්තය ආරම්භ කිරීමටත් කටයුතු කරනවා. අපි ජලයට මුදල් ගෙවනවා නම් අප ලබා ගන්නා ජලයෙන් උපරිම ලාභය ලබා ගැනීමටත් කටයුතු කළයුතුයි. මෙම වැඩසටහන් හරහා අප තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කළයුතුයි.

ඒ වගේම ඉන්දියාව සමඟ එක්ව කංකසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබෙනවා. සිමෙන්ති කර්මන්ත ශාලාව තිබු ස්ථානයේ ආයෝජන කලාපයක් ආරම්භ කරනවා. ඒ වගේම පලාලි දියුණු කළ විට එහි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ හැකියි. විශේෂයෙන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව සුළං බලශක්තිය සහ සූර්ය බලශක්තිය විශාල වශයෙන් නිපදවිය හැකි අතර එයින් තවත් ආදායම් ලබාගත හැකියි. ඒ අනුව ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීමට නියමිතයි.

රජය යාපනය විශ්වවිද්‍යාල ඇති කිරීමට කටයුතු නොකරන්නේ මෙහි විශ්වවිද්‍යාල දෙක තුනක් ආරම්භ කිරීමට පළාත් සභාවට හැකියාව තිබෙන නිසයි.යුද්ධය අවසන් වී මේ වන විට වසර 20ක් පමණ ගතවි තිබෙනවා. දැන් අප සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ආරම්භ කළයුතුයි.

මෙම පවිත්‍රාගාරය ලබා දුන් ආසියනු සංවර්ධන බැංකුවට මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා. අප බංකොළොත් රටක් බව ප්‍රකාශ කර තිබු සමයේත් ඔවුන් අප වෙනුවෙන් මෙම කටයුත්ත ඉටු කර දුන්නා. දැන් අපි අපේ නිල ණයකරුවන්ගේ කමිටුව සහ චීනය එක්සීම් බැංකුව සමඟත් ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. ඒ වගේම බැදුම්කර හිමියන් සමඟත් අපි එකඟත්වයට පැමිණ තිබෙනවා. නිල ණයකරුවන් සමඟ අප මේ වන විටත් එකඟත්වයට පැමිණ තිබෙන නිසා එම රටවල ආධාර දැන් අපට ලැබෙනවා. ජපානය මෙරට ආරම්භ කර අතරමග නැවතුණ ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කර තිබෙනවා. අනෙක් රටවල සංවර්ධන ව්‍යාපෘතිද ඉදිරියට ගෙන යනවා.

ඒ වගේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ මම එකඟත්වයට පැමිණි ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන අතර එම ගිවිසුම් අත්සන් තැබීම මේ වන විට සිදු වෙනවා. දියර කිරි නිෂ්පාදනය දියුණු කිරීමට අමුල් සමාගම සමඟ කටයුතු ආරම්භ කර තිබෙනවා. අපි රටේ ආදායම් ඉහළ නංවාගත යුතුයි. අප මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි. එවිට රටේ ආර්ථිකය දියුණු වෙනවා වගේම යාපනය මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා.

මේ පිළිබඳ විශේෂ උනන්දුවකින් කටයුතු කරන ජීවන් තොණ්ඩමන් ඇමතිතුමාට මා ස්තූති කරනවා. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්වි කඳුකරයේ නව ගම්මාන ඉදිකිරීමට අපි කටයුතු කරනවා.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා,

පානීය ජලය යනු මූලික අයිතිවාසිකමක්. එය පුරවැසියාට ලබා දීමට ආණ්ඩුව කටයුතු කරනවා. මේ ව්‍යාපෘතිය ආරම්භ කරන විට වියදම වැඩියි කියා ප්‍රශ්නයක් ආවා. නමුත් පුරවැසියන්ගේ පානීය ජල අවශ්‍යතාව තහවුරු කිරීමට අප මේ අභියෝගය භාර ගත්තා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධූරය භාරගන්නා විට උතුරේ පානිය ජල සැපයුම 4%යි. අද සිට එය 40%ක් දක්වා වැඩි වෙනවා. මෙම ව්‍යාපෘතිය ගෙන ඒමේදී ගම්මාන කිහිපයක් ඉඩම් ලබාදීමට කැමැති වුණේ නෑ. නමුත් මේ ඉඩම ලබාදීම පිළිබඳ තලෙයිඅඩි ගම්මානයේ වැසියන්ට ස්තුතිවන්ත වෙනවා.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා,

දෙමළ ජනතාවට පිපාස කිහිපයක් තිබෙනවා. එනම් සංවර්ධනය සම්බන්ධව පිපාසයක්, අයිතීන් සම්බන්ධව පිපාසයක් වගේම පානීය ජල පිපාසයක් තිබෙනවා . ජනාධිපතිවරයා මේ පිපාසවලට විසඳුම් ලබාදෙමින් සිටිනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද මේ ප්‍රදේශයට පැමිණ තිබෙන්නේ උතුරේ ජනතාවගේ පානීය ජල අයිතිය ලබාදීමට යි. මේ පළාතේ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට ජනාධිපතිතුමා සමඟ සම්මුතියෙන් ඉදිරියටත් යා යුතු බව මා ප්‍රකාශ කරනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය,

උතුරු පළාතේ මෙම දැවැන්ත පානීය ජල ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහාය වීම පිළිබඳ අප ජනාධිපතිතුමාට ස්තූතිවන්ත විය යුතුයි. 2015 වසරේදී එතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල සීමාව තුළ සමස්ත ව්‍යාපෘතිය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඒ සඳහා අවශ්‍යව තිබූ අතිරේක මූල්‍ය පහසුකම් සලසා ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. 2017 වසරේදී ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ අතිරේක මූල්‍ය පහසුකම් සලසා ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟ මෙම ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රගතියක් අත්කර ගත්තා. මෙම ගිවිසුම මඟින් මුහුදු ජලය නිර්ලවණ කරන පවිත්‍රාගාරය ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසූ අතර, එහි ඉදිකිරීම් සහ වසර පහක් ක්‍රියාත්මක කිරීම ඇතුළුව ව්‍යාපෘතියේ අතිරේක වියදම් ආවරණය කිරීම ද සිදුවුණා.

ජනාධිපතිතුමාගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල වෙසෙන ලක්ෂ 3ක පමණ ජනතාවගේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් වු සුරක්ෂිත පානීය ජල පහසුකම අද ලැබී තිබෙනවා. මීට අමතරව, යාපනය නගරයේ වෙසෙන පුද්ගලයින් 80,000කගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු වී ඇති අතර උතුරු පළාතේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ද මින් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්න්, අංගජන් රාමනාදන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක , හිටපු අමාත්‍ය රවී කරුණානායක , හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.