ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ජනපති ප්‍රධානත්වයෙන්

වසර හතළිස් පහකට පමණ පෙර ආරම්භ කළ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මේ වන විට නවීන තාක්ෂණය මුසු කරගත් විචිත්‍රවත් පෙරහර මංගල්‍යයක් බවට පත්කර ගැනීමට බැතිමත් ජනතාවගේ එකමුතුව ඉවහල් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාවට (23) එක්වෙමිනි.

කොළඹ නවම් මහා පෙරහර 45 වන වරටත් (23)රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහරේ සමාරම්භය සනිටුහන් කළේය.

ගංගාරාම විහාරස්ථානයේ ඩිජිටල් වෙබ් අඩවිය විවෘත කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

පෙරහර සංස්කෘතික මංගල්‍යයට නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නරඹන ජනතාවට නවමු අත්දැකීමක් එක් කිරීමට මෙවර ගංගාරාම විහාරස්ථානය කටයුතු කිරීම අගය කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

ගංගාරාම විහාරස්ථානය විසින් මෙවර කොළඹ නවම් පෙරහර පවත්වනු ලබන්නේ හතළිස් පස්වෙනි වරටයි. ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා වෙතින් ගංගාරාම පොඩි හාමුදුරුවන් කළ ඉල්ලීමකට අනුව මෙම පෙරහර ආරම්භ කරනු ලැබුවා. ඉන්පසුව රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙම පෙරහර මංගල්‍ය ඉදිරියට කරගෙන එනු ලැබුවා.

මෙම වසර 45ක කාලය සැලකීමේදී අද වන විට විශාල තාක්ෂණික දියුණුවක් ඇති වී තිබෙනවා. ඩිජිටල් වෙබ් අඩවිය ඔස්සේ පෙරහර නැරඹීමටත් මේ වන විට අවස්ථාව සැලසී තිබෙනවා.

රජයේ සහ රාජ්‍ය නොවන ආයතන විශාල සංඛ්‍යාවකගේ උදව් උපකාර මෙම පෙරහර මංගල්‍යයට හිමි වෙනවා. මීට වසර හතළිස් පහකට පෙර තිබුණ පෙරහර සහ අද පෙරහර සංසන්දනය කර බැලූ විට අද පෙරහරේ තාක්ෂණික දියුණුව ඉතා ඉහළයි. බැතිමතුන්ගේ ශක්තිය එමඟින් පෙන්නුම් කරනවා. බැතිමතුන්ගේ එකතුවීම මත ගොඩනැඟුණු මෙම පෙරහර අද විචිත්‍රවත් වී තිබෙනවා. මේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටම මා ස්තූතිවන්ත වෙනවා.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.