උතුරේ පවතින ඉහළ ආර්ථික විභවයන් උතුරේත්, රටේත් දියුණුවට දායක කර ගන්නවා
- නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට එක් වීම විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ ද වගකීමක්.
- ජනවාර්ගික ප්‍රශ්නය ද කඩිනමින් විසඳනවා – සංහිඳියාව සහ සාමානාත්මතාව ඉතා වැදගත්.
- සිංහල භාෂාව මෙන්ම දෙමළ භාෂාව ද ප්‍රවර්ධනය කළ යුතුයි – තමිල්නාඩුවේ සිදුවීමට නියමිත ආර්ථිකය වර්ධනයත් සමඟ ශ්‍රී ලාංකිකයන්ට වැඩි අවස්ථා උදාවනු ඇතියි – යාපනය විද්වතුන් සහ වෘත්තිවේදීන් සමඟ පැවති හමුවේ දී ජනපති පවසයි.
යාපනය ඇතුළු උතුරු පළාතේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන නමුත් ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් එම පළාතේ පවතින බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාවන් උතුරු පළාත ඇතුළු සමස්ත රටේම ආර්ථික වර්ධනයට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව පැවසිය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයන් සමඟ අද (02)යාපනය වාලම්පුරි හෝටලයේ පැවති හමුවේදී ය.
මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත එම වරද සිදුවීමට ඉඩ නොතබා නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට දායක වීම මෙරට උගතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම බවද පෙන්වා දුන්නේය.
මෙරට ජනවාර්ගික ප්‍රශ්නය ද කඩිනමින් විසඳා ගත යුතු බව පැවසු ජනාධිපතිවරයා බහුතරයක් වූ සිංහල හා බෞද්ධ ජනතාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වුවද සැමට එක හා සමානව සැලකීම ඉතා වැදගත් බවත්, ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර මෙන්ම කාන්තා සහ පුරුෂ දෙපාර්ශ්වය අතර සමානාත්මතාවය ඇතිකිරීම ද මීට ඇතුළත්වන බවත් සඳහන් කළේය.
එසේම සිංහල භාෂාව සේම දෙමළ භාෂාව ද ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා නුදුරු අනාගතයේ තමිල්නාඩුවේ සිදුවීමට නියමිත ආර්ථිකය වර්ධනයත් සමඟ දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලාංකිකයන්ට අන් අයට නොලැබෙන අවස්ථා උදාවනු ඇති බවද කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය,
මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් වැඩසටහන යටතේ යම් මට්ටමකට බදු පැනවීමට එකඟ වූ නමුත් ඉන්පසුව පැමිණි රජය මැතිවරණ පොරොන්දුවක් මත බදු අඩු කළා. එය රජයේ ආදායම් අඩුවීමට හේතු වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද එම වැඩසටහනෙන් ඉවත් වුණා. අපට එම වරද නැවත කිරීමට හැකියාවක් නැහැ. රටක් ලෙස ඉදිරියට යන විට අප අපේ දේශපාලන ක්‍රමය ද වෙනස් කළ යුතුයි.
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටේ අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීමට කිසිවෙකු කැමැත්තක් දැක්වූයේ නැහැ. රටේ නායකත්වය භාර ගැනීමට හැකි අයෙකු සොයා ගැනීම ගැටළුවක් බවට පත් වුණා. ජනාධිපතිවරයා ඉවත්ව ගිය පසු මට ද ඉල්ලා අස්වෙන ලෙස පැවසුවත් වගකීම් භාරගැනීමට කිසිවෙක් කැමැති වූයේ නැහැ. ණය ගැනීම සහ හිස් පොරොන්දු මත පවත්වාගෙන ගිය මෙරට ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයේ බිඳවැටීම මෙයින් පෙන්නුම් කෙරෙනවා.
අප අපගේ දේශපාලන ක්‍රමය පිළිබඳ නැවත සිතා බලා දැඩි තීරණ ගත යුතුයි. යහපත් අනාගතයක් සඳහා රටට නව දේශපාලන ක්‍රමයක් අවශ්‍යයි. එය ව්‍යවස්ථාව හෝ නායකත්වය යන කරුණුවලට සිමා නොවන අතර වගකීම භාර ගැනීමට හැකි ධෛර්ය සම්පන්න නායකයින් සිටීම ද අත්‍යාවශ්‍යයි.
ඒ වගේම අප සියලුදෙනා එකට එක්ව මෙම ගමන යා යුතුයි. සිංහල සහ දෙමළ ජනවාර්ගික ප්‍රශ්න ද අප කඩිනමින් විසඳා ගත යුතුව තිබෙනවා. බහුතරයක් වූ සිංහල හා බෞද්ධ ජනතාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වුවද සැමට එක හා සමානව සැලකීම ඉතා වැදගත් බව සඳහන් කළ යුතුයි. ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර මෙන්ම කාන්තා සහ පුරුෂ දෙපාර්ශ්වය අතර සමානාත්මතාවය ඇතිකිරීම ද මීට ඇතුළත් වෙනවා.
රටෙන් අඩක් පමණ පිරිසක් නියෝජනය කරන කාන්තාවන්ට පාර්ලිමේන්තුව තුළ නිසි නියෝජනයක් නැහැ. අප මෙය විසඳා ගත යුතුයි. අප සිංහල භාෂාව සේම දෙමළ භාෂාව ද ප්‍රවර්ධනය කළ යුතුයි. නුදුරු අනාගතයේ තමිල්නාඩුවේ සිදුවීමට නියමිත ආර්ථිකය වර්ධනයත් සමඟ දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලාංකිකයන්ට අන් අයට නොලැබෙන අවස්ථා උදාවනු ඇතියි.
ඒ වගේම අපි රටේ සියලු පළාත් එක ලෙස සංවර්ධනය කළයුතුයි. මම අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන අවධියේදී යාපනය රටේ ප්‍රධාන නගරවලින් එකක් වූ නමුත් පසුව එය පසුගාමී තත්ත්වයට පත්වුණා. දැන් යුද්ධය අවසන් වී තිබෙනවා. එනිසා යාපනය සහ උතුරු පළාත සංවර්ධනය කිරීමට කාලය උදාවී තිබෙනවා.
දිළිඳුකම පිටුදැකීම, කෘෂිකාර්මික නවීකරණය වැනි ප්‍රාදේශීය සංවර්ධනය සඳහා අප පළාත් සභාවලට වැඩි බලයක් ලබාදිය යුතුයි.
ජාතික ඉඩම් කොමිෂන් සභාව සහ සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව ගැසට් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා.
එමෙන්ම කාන්තා සහ තරුණ නියෝජනය ඇතුළත් වන ආකාරයටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභාව තුළ මෙන්ම පාර්ලිමේන්තුව තුළද එකවර කටයුතු කිරීමට ඉඩ සැලසෙන පරිදි පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙමගින් මධ්‍යම රජය සහ පළාත් පරිපාලන යාන්ත්‍රණය ඒකාබද්ධ කෙරෙනවා.
යාපනයට පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශාල විභවයක් පවතිනවා. ආයෝජන කලාප සංවර්ධනය කිරීමටත්, ත්‍රිකුණාමල වරාය සංවර්ධනය සහ ඉන්දියාව සමඟ ගොඩබිම් සම්බන්ධතාව ඇතිකර ගනිමින් එය රටේ සංවර්ධනයට දායක කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා.
යාපනය සහ උතුරු පළාතේ ජනතාව බොහෝ කාලයක් පීඩාවට පත්වුණා. නමුත් අප විසින් ප්‍රයෝජනයට ගත යුතු විශාල විභවයක් මේ පළාතේ පවතිනවා.රටට වෙනසක් අවශ්‍යයි. අපට පැරණි ක්‍රමය අනුව ඉදිරියට යා නොහැකියි. යහපත් අනාගතයක් වෙනුවෙන් පවතින ක්‍රමය වෙනස් විය යුතුයි. වෛද්‍යවරුන්, නීතිඥයන් සහ සිවිල් සමාජයේ නායකයින් ලෙස ඔබ ඒ සඳහා පෙරමුණ ගත යුතුයි.
අප සියලු දෙනාම නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව වැඩ කළ යුතුයි. 2022 වසරේ අපට එල්ල වූ දුෂ්කරතා කෙරතම් පීඩාකාරී වුවද අප සියලුදෙනා දැඩි අධිෂ්ඨානයෙන් එයට මුහුණ දුන්නා. අප රට දියුණු කිරීමේ අභියෝගය ද ජයග්‍රහණය කරමු. එහිදි අලුතින් සිතා අලුත් ගමකට එක්වෙමු කියා මා සියලුදෙනාට ආරාධනා කරනවා.
මෙහිදී වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ද ජනාධිපතිවරයා සාධනීය පිළිතුරු ලබා දුන් අතර රටේ ඉදිරි සංවර්ධන ගමන වෙනුවෙන් ඔවුහු සිය අදහස් සහ යෝජනා ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් , රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, කාදර් මස්තාන් , පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක , හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.