පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවැති දානමය පුණයකර්මය සඳහා ජනපති සහභාගී වෙයි

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ දී අද (26) පැවැත්වුණ දානමය පුණ්‍යකර්මය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

එම දානමය පුණ්‍ය කර්මය අවසානයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ඉදිරියේ සිය අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේ සම්බද්ධ ශාසනයේ උන්නතිය මෙන්ම රටවැසි ජනතාවගේ යහපත වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන සෑම කටයුත්තකටම මහා සංඝරත්නයේ සහාය හිමි වන බවයි.

රට තුළ පංච ශීල ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටි උන්වහන්සේ මහා සංඝරත්නයේ යම් යම් ක්‍රියා කලාප සැබෑ බෞද්ධයින්ගේ සිත් වේදනාවට හා කළකිරීමට පත් කරන බවත් මේ තත්ත්වයෙන් මිදෙන්නට නම් මහා සංඝරත්නය පෙරදැරි කර ගනිමින් ශාසන සංශෝධනයක් කඩිනමින් සිදු කළ යුතු බවත් අවධාරණය කළහ.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමියෝ මෙසේද පැවසූහ,

අද මාධ්‍ය හරහා වගේම ඇතැම් ශ්‍රමණ වේශධාරීන් ගෙන්ද බුදු දහමට නොගැළපෙන බොහෝ දේ සිදු වෙනවා. බණ පොතේ ඇති ආකාරයට බුද්ධත්වය ලැබීමට කල්ප කාලයක් පෙරුම් පිරිය යුතුයි. නමුත් දැන් එක්වරම බුදු වෙනවා, රහත් වෙනවා. මේවා බුද්ධ ශාසනයට ඉතා හානිදායකයි. මේ සම්බුද්ධ ශාසනයට සිදු කරන විපත නවතා දමන ලෙස රාජ්‍ය නායකයා වශයෙන් ඔබතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. සංගායනාවක් හෝ පවත්වා ශාසන ශෝධනයක් සිදු කරන ලෙස මා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

අභයාරාමය කියන්නේ දේශපාලනඥයින් නිතර යන එන තැනක්. රටේ ලොකු ප්‍රචාරයක් තිබෙනවා දේශපාලනඥයෝ තමයි මේ අභායාරාමයට ආධාර කරන්නේ කියලා. නමුත් දේශපාලනඥයෙකු, රාජ්‍ය නායකයකු වශයෙන් අභයාරාමයට උපකාරයක් සිදු කළේ ඔබතුමා විතරයි. සැබෑ බෞද්ධයකු වශයෙන් ඒ කාර්යභාරය ඔබතුමා ඉෂ්ට කළා. වෙනත් කිසිම දේශපාලනඥයෙකු අභයාරාමයට උදව් කර නැති බව මම පැහැදිලිව කියනවා.

රජ්ජුරුවෝ නොවුනත් මේ රටේ නාමික රජතුමා ඔබයි. මම දන්නවා ඔබතුමා හිතුවොත් දෙයක් කරනවා. කියන දේ කරන පුද්ගලයෙක්. ගොඩක් සාකච්ඡා කළ යුතු නැහැ. අප යමක් කිව්වොත් එය පිළිගන්නවා. නමුත් මහා සංඝරත්නයේ යම් යම් ක්‍රියාකලාප සැබෑ බෞද්ධයින්ගේ සිත් වේදනාවට, කළකිරීමට පත් කරන බව කිව යුතුයි. මේ තත්ත්වයෙන් මිදෙන්න නම් මහා සංඝරත්නය පෙරදැරි කර ගෙන ශාසන සංශෝධනය සිදු කිරීම කඩිනමින් කළ යුතුයි. රටේ උන්නතිය වෙනුවෙන් මහා සංඝරත්නය පෙරමුණ ගත යුතුයි. එහිදී ඔබතුමාගේ සහාය ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම විවිධ මතවලින් ජනතාවගේ මනස විකෘති කරන බව පෙනෙනවා. ඒ පිළිබඳ ප්‍රබුද්ධ කතිකාවතක් ඇති කළ යුතුයි.

ශාසනය රැක ගැනීම, ජනතාව ආරක්ෂා කිරීම ආදි ඔබතුමාගේ සියලු යහපත් වැඩ කටයුත්තකදීම ඔබතුමා සමඟ මහා සංඝරත්නය සිටින බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි. පංච ශීල ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ලබා දෙන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම සිහිපත් කළ යුතු තවත් කාරණයක් තමයි අපේ හෙද සංගමයට නොමැකෙන කාර්යයක් ඉටු කර දෙමින් පළමුවෙන්ම හෙද නිලධාරීන්ට ඩිප්ලෝමාව ලබා දුන්නේ ඔබතුමායි. විශ්ව විද්‍යාලය පිළිබඳ කටයුතු පසුගිය කාලයේ රට මුහුණ දුන් ප්‍රශ්න නිසා ප්‍රමාද වුවත් ඔබතුමා එක පෑන් තුඩින් අත්සන් කර කැබිනට් එකට දැම්මා. මේ සියලු දේ අප හැමදාමත් අගය කරනවා.

මහාසංඝරත්නය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලි‍මේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.