2022 ජූලි මාසයේ දී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා 2024 සැප්තැම්බර් 21දා ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී තිබෙනවා

  • නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට කැපවීම අදාළ ආයතනවල වගකීමක්.
  • මත්ද්‍රව්‍ය පාලනය සඳහා ශක්තිමත් එක් ආයතනයක්.
  • පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි.
  • නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන පාතාල ක්‍රියාවන් මැඩලීමට ද නව නීති ගෙන එනවා – ජනපති.

2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ නිසා 2024 සැප්තැම්බර් 21 දා තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට මේ රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බවත්, ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ මෙරට සියලු ආරක්ෂක අංශ සාමාජිකයන්ට තම ස්තූතිය පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම නීතිය හා සාමය තහවුරු කරමින් රට තුළ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සහාය ලබාදීම ජනාධිපතිවරයා ලෙස තමාගේද, මැතිවරණ කොමිසමේ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ ද වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය  විවෘත කිරිමේ අවස්ථාවට අද (13) පස්වරුවේ එක් වෙමිනි.

සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු කිසිදු අයුරකින් රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ වගකීමෙන් කටයුතු කරන ලෙස ද සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය කඳවුරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස් විශේෂ කාර්ය බළකා උත්තමාචාර සම්මාන පිළිගන්වමින් අභිමානවත් අයුරින් පිළිගැනිණි.

සමරු ඵලකය නිරාවරණය කර විශේෂ මෙහෙයුම් විධානය  විවෘත කළ ජනාධිපතිවරයා භට නිවාස පරීක්ෂා කිරීමට ද එක් විය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ වත්මන් අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

මෙම විශේෂ මෙහෙයුම් විධානය මහජන සාමය කළමනාකරණය සහ යතුරුපැදි ධාවකයින්ගේ කණ්ඩායමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරනු ඇත. විශේෂ කාර්ය බලකායේ මෙම විශේෂිත ඒකකවල මෙහෙයුම් විධානය විශේෂ මෙහෙයුම් අධ්‍යක්ෂ වෙත පැවරෙනු ඇති අතර, ඔහු නියෝජ්‍ය මෙහෙයුම් අණදෙන නිලධාරියා හරහා විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක වෙත සෘජුවම වාර්තා කරනු ඇත.

මෙම මධ්‍යස්ථානයේ ස්ථානගත කර ඇති විශේෂිත කණ්ඩායම්වලට ත්‍රස්තවාදී සහ ප්‍රචණ්ඩ අන්තවාදී ප්‍රහාර, ප්‍රචණ්ඩකාරී මහජන විරෝධතා, ප්‍රාණ ඇපකරුවන්ගේ සිද්ධීන් සහ වෙනත් ඒ හා සමාන අර්බුද ඇතුළුව විවිධ හදිසි අවස්ථා වෙත ප්‍රතිචාර දැක්වීමේ වගකීම පැවරී ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය පාලනය සඳහා දැනට පවතින පොලිස්, හමුදා සහ සිවිල් ආයතන සියල්ල එකට එක් කර මත්ද්‍රව්‍ය විරෝධි විධාන පනත යටතේ එක් ආයතනයක් ස්ථාපිත කර ඊට අදාළ බලතල පැවරීමට කටයුතු කරන බවයි.

පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවද අවධාරණය කළ ජනාධිපතිවරයා  නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන මෙරට පාතාල ක්‍රියාවන් මැඩලීම වෙනුවෙන්ද නව නීති හඳුන්වාදෙන බව ද ප්‍රකාශ කළේය.

එසේම ජනතාවට නීතිය හා සාමය තහවුරු වූ රටක ජීවත්වීමට ඉඩ සලසා දීම ජනතාවගේ  මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා  එයද නීතියට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

අද මෙම විශේෂ ක්‍රියාකාරි මධ්‍යස්ථානය විවෘත කිරීම විශේෂ කාර්ය බලකායේ තවත් සුවිශේෂි පියවරක් ලෙස සඳහන් කළ හැකියි. එදා එල්ටීටීඊ ත්‍රස්තවාදය සමඟ සටන් කිරීම සඳහා මඩකලපුව ප්‍රදේශයට යැවු  මෙම කණ්ඩායම අද ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කරන විශේෂ කාර්ය බලකායක් බවට පත්ව තිබෙනවා.  ඒ වගේම ලොව පුරා ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. අද ලෝකය එදාට වඩා වෙනස්. ඉදිරියේ දී එය තවත් වෙනස් වෙනවා. 2030 වසර වන විට මේ රටේ ආරක්ෂාවට මෙම බලකායෙන් සිදු කරන සේවය කුමක්ද කියා හඳුනගෙන එහි නවීකරණයක් කළයුතුව තිබෙනවා. එහිදී තාක්ෂණය වැඩි වශයෙන් භාවිතයට ගත යුතුයි. අද සෑම අංශයක්ම තාක්ෂණය මත ක්‍රියාත්මක වෙනවා.

සාමාන්‍ය අපරාධ සහ විශේෂ අපරාධ අතර අද වෙනසක් නැතිව ගොස් තිබෙනවා. එදා අපරාධකරුවන් ලෙස හැදින්වූයේ එකට එක් වූ කණ්ඩායමක්. නමුත් අද එය  ඔවුන් අතර යුද්ධයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරමද අද කණ්ඩායම් අතර යුද්ධයක් බවට පත්ව තිබෙනවා. එම නිසා මෙම නීතිවිරෝධි ක්‍රියාවන්ට එරෙහිව ගෙන යා යුතු වැඩපිළිවෙළ අප අලුතින් සිතා සකස් කළ යුතුයි.

පාතාලයේ ඕනෑම අයෙකුට අද තිබෙන නව තාක්ෂණය භාවිත කළ හැකියි. එම නිසා ඒවා පාලනය කිරීම සඳහා වෙනම නීති ගෙන ඒමට සිදු වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය පාලනය සඳහා ද එක් ආයතනයක් යටතේ නව නීති ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා. පොලිස්, හමුදා සහ සිවිල් සියලු ආයතන එකට එක් කරගනිමින් මත්ද්‍රව්‍ය විරෝධි විධාන පනත යටතේ නව ආයතනයක් ස්ථාපිත කර ඊට බලතල පැවරීමට මා බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය නම් මෙම කණ්ඩායම දීර්ඝ වශයෙන් මෙම කටයුතුවල යෙදවිය හැකියි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සමාජය විනාශ කිරීමට ඉඩ දෙන්න බැහැ.

රටේ ජනතාවට නීතිය හා සාමය යටතේ ජීවත්වීමට ඉඩ දීම  මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් බව කිවයුතුයි. එයත් නිතියට ඇතුළත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ඉදිරි මාසය තුළ ඔබට තවත් විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා. මෙරට ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ යුතුකම වන්නේ රට තුළ නීතිය හා සාමය තහවුරු කර නීත්‍යානුකූල ආකාරයට මෙම මැතිවරණය පැවැත්විමට අවස්ථාව සලසා දීමයි.

ජනාධිපතිවරයා ලෙස එය මගේ මෙන්ම මැතිවරණ කොමිසමේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ යුතුකමක් බව කිවයුතුයි.

එපමණක් නොවෙයි, ඕනැම මැතිවරණයකින් පසු  ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙනවා. අප ඒවා නැවැත්විය යුතුයි. මෙවර මැතිවරණයෙන් පසු කිසිඳු අයුරකින් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය නොහැකියි. අප ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළයුතුව තිබෙනවා.

අපට අද මෙම මැතිවරණය පැවැත්වීමට හැකිවී තිබෙන්නේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා වී තිබෙන නිසයි. අපේ ව්‍යවස්ථාව ආරක්ෂා වී තිබෙන නිසයි. අපි නව ආණ්ඩුවක් පත් කර ගන්නේ ව්‍යවස්ථාව අනුවයි.

1931 වසරේ සිට සර්ව ජන ඡන්ද බලය සහ ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත්තේ ශ්‍රී ලංකාව පමණයි. මානව හිමිකම් උල්ළංඝණය වූ බවට සහ වෙනත් චෝදනා තිබෙනවා. නමුත් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් තිබෙන්නේ ශ්‍රී ලංකාව පමණයි. අප මෙම ක්‍රමවේදය ආරක්ෂා කරගත යුතුයි. කිසිවිටෙකත් එය කැඩීමට ඉඩ දිය යුතු නැහැ. දේශපාලන පක්ෂ අතර කෙතරම් ප්‍රශ්න තිබුණද මැතිවරණ ප්‍රතිඵලවලින් පසු ජය පරාජය පිළිගෙන ආණ්ඩු මාරු කරගන්නවා. එය කළ හැක්කේ මෙම වාතාවරණය තිබෙන නිසයි.

නමුත් මීට වසර දෙකකට පෙර මේ රටේ ආණ්ඩුව බිඳ වැටීමට ගියා. ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය අත්පත් කරගෙන අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ගිනි තබා අගමැති කාර්යාලයත් අත්පත් කරගෙන පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට අරගලකරුවන් උත්සාහ කළා.

නමුත් අපේ යුද හමුදාව ඇතුළු නීතිය ආරක්ෂා කරන සියලුදෙනා ගත් පියවර නිසා එදා අපිට පාර්ලිමේන්තුව අහිමි වී යාම වළක්වා ගැනීමට හැකි වුණා.  මම ආණ්ඩුව භාරගෙන රටේ ආර්ථිකය ස්ථාවර කර බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ නිසා අද අපට රටේ මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ පිළිබඳ අප ආඩම්බර විය යුතුයි. නමුත් එදා මේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර නොගත්තා නම් කුමක් සිදු වෙයිද කියා විමසිය යුතුයි

අද මේ මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබී තිබෙන්නේ අප එදා ගත් පියවර නිසයි. අද බංග්ලාදේශයේ ආණ්ඩුව පන්නා දමා තිබෙනවා. ආණ්ඩුව භාරගන්න කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ව ඝාතනය කරනවා. ආරක්ෂක ලේකම්වරයාට, අගවිනිසුරුවරයාට, මහ බැංකු අධිපතිට  රටින් පිටවෙන ලෙස දැනුම් දී තිබෙනවා. හෝටල් ගිනි තබා විනාශ කර තිබෙනවා. ඒ රටේ තවමත් සාමාන්‍ය තත්ත්වයයක් ඇති වී නැහැ.

නමුත් අපේ රටේ ආරක්ෂක හමුදාව ලෙස ඔබ එදා ගත් පියවර නිසා අප එම තත්ත්වයෙන් බේරුනා. දැන් සැප්තැම්බර් 21 වනදා මේ රටේ ජනතාවට තමන් කැමැති අපේක්ෂකයෙකුට ඡන්දය ලබා දීමට හැකියාව ලැබී තිබෙනවා.

අපි සෑම අවස්ථාවකම රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කළා. මගේ මිත්‍ර මුහම්මද් යුනුස් මැතිතුමාට මගේ සුබ පැතුම් පළ කරන අතර බංග්ලාදේශය තුළ කඩිනමින් නීතිය හා සාමය ස්ථාපිත වේවායි ද කියා ප්‍රාර්ථනා කරනවා.  කිසිවිටෙක එයින් ඉවත්විය යුතු නැහැ.

මේ රටේ මූලික අයිතිවාසිකම ප්‍රජාතන්ත්‍රවාදයයි, ඒ වගේම ආණ්ඩුවක පැවැත්මයි. නිත්‍යානුකූල ආණ්ඩුවක් තිබෙනවා නම් එම ආණ්ඩුව ආරක්ෂා කළ යුතුයි. මම එය ඉගෙන ගත්තේ 1970 වසරේදීයි. එක්සත් ජාතික පක්ෂය එදා විපක්ෂයේ කටයුතු කළා. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ඇති වූ අවස්ථාවේ විපක්ෂනායක ලෙස ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රකාශ කළා “මේ ආණ්ඩුවට අපි කැමති නැහැ. මේ ආණ්ඩුව පන්නා දැමිය යුතුයි. නමුත් අප එය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළයි” කියලා.

ඒ වගේම “මෙය ප්‍රජාතන්ත්‍රවායට තර්ජනයක්. ඒ නිසා මම බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුවට සම්පූර්ණ සහාය ලබා දෙනවා. එය මම කැමති ආණ්ඩුවක් නොවුණත් ජනතාව තෝරාගත් ආණ්ඩුවක්” කියා එතුමා ප්‍රකාශ කළා. එදා සිටම අප එම ක්‍රමය ඇති කර තිබෙනවා.

1989 විරුද්ධ පක්ෂයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා ප්‍රේමදාස ජනාධිපතිවරයා හමු වී ප්‍රකාශ කළා “ඔබතුමාට අපේ සම්පුර්ණ සහාය ලබා දෙනවා” කියලා. අපේ ඉතිහාසය එයයි.

ඔබතුමන්ලා 2022 ජූලි මාසයේ මේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා මේ රටේ ජනතාවට 2024 සැප්තැම්බර් 21 වනදා තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ පිළිබඳ මම ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා,

මෙවැනි මෙහෙයුම් කටයුත්තක් පිළිබඳ අපේ අවධානය යොමු වූයේ පොලිස්පතිවරයා හා විශේෂ කාර්‍ය බලකායේ අණදෙන නිලධාරීවරයා සමඟ සිංගප්පූරුවේ දී සිදු කළ සංචාරයක් අතරතුරදීයි.  එහිදී සිංගප්පූරු රජය මෙවැනි මෙහෙයුම්  විධානයක  ක්‍රියාවලිය පිළිබඳ පැහැදිළි කළා. මේ ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට දැන්වූ විට ශ්‍රී ලංකාව තුළත් මෙවැනි විධානයක් ආරම්භ කරන ලෙස දැනුම් දුන්නා. ඒ වගේම මේ ඉඩම විශේෂ කාර්‍ය බලකායට ලබා දුන්නා.

පොලිස් ඉතිහාසයේ පොලිසිය පිළිබඳ වැඩිම අවධානයක් යොමුකර පහසුකම් ලබාදීමට කටයුතු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි. පසුගිය වසර දෙකක කාලය තුළ පොලීසිය වෙනුවෙන් ආහාර හා නඩත්තු දීමනා වැඩිකළා. ගමන් දීමනාව වැඩි කළා.  ඒ වගේම පොලිසියට නව ජීප් රථ 500ක් ලබාදීමට කටයුතු කළා. මේ සියලු වැඩකටයුතු කළේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගනිමින් තිබු පසුබිමකයි.

මේ විධානය මගින් මේ රටේ ජාතික සාමය ආරක්ෂා කිරීමට වැඩ කටයුතු සිදු කරන බව කිවයුතුයි. පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙන ඉලක්ක ඉටු කිරීමට මේ විධානය මඟින් ඉදිරියේදී විශාල කාර්‍යභාරයක් ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, සිංගප්පූරු රජයේ නීතිය හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය කේ. ශම්මුගම්, නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන  මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.