අලුත් ආර්ථිකයක් වෙනුවෙන් අලුත් නීති පද්ධතියක් ගෙන එනවා

  • පසුගිය මාස 14 තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා.
  • තවත් නීති 62 ක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට.
  • රට දියුණු කිරීමට නම් ලෝකය පිළිගන්නා නීති අවශ්‍යයි.
  • පොදූ මූල්‍ය කළමනාකරණ පනතක් සහ පොදු ණය කළමනාකරණ පනතක්.
  • අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ද නව නීති.
  • ජනපතිගේ විධායක බලතල අහෝසි කිරීමට පාරිලිමේන්තුවට හැකි මුත් පාරිලිමේන්තුව සතු බලතල අහෝසි කිරීමට පාර්ලිමේන්තුවටවත් නොහැකියි.
  • පළමු මානව හිමිකම ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ලබා දීමයි. දෙවනුව දරුවන්ට හොඳ අනාගතයක්ගො ඩනඟාදීමයි – ජනපති.

රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එසේම තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මෙවර පාර්ලිමේන්තුවේ දී සිදු කර ගත නොහැකි වුවහොත් ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “වට්ස් නිව්” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ (03) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කතිකාවට එක් වෙමිනි.

1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය ඇති කිරීම වෙනුවෙන් නව නීති හඳුන්වා දුන්නා සේම රටේ සිදුකළ යුතු කඩිනම් ආර්ථික පරිවර්තනය වෙනුවෙන් නව නීති රැසක් ගෙන එන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එසේම රට දියුණු කිරීමට ලෝකය පිළිගන්නා නීති හඳුන්වාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා වාණිජ කටයුතුවල නිරත රාජ්‍ය ආයතන ව්‍යුහය වෙනස් කරමින් රාජ්‍ය සංස්ථා සියල්ල සමාගම් බවට පත් කර එම සියලු සමාගම් එක් ප්‍රධාන සමාගමකට භාර කිරීමට රජය කටයුතු කරන බව ද සඳහන් කළේය.

පොදූ මූල්‍ය කළමනාකරණ පනතක්, පොදු ණය කළමනාකරණ පනතක්, කෘෂි නවිකරණ පනතක් මෙන්ම මෙම සියලු ඉලක්ක සපුරාගත හැකි ආර්ථික පරිවර්තන පනතක් ගෙන එන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. දැනට තිබෙන ආයෝජන මණ්ඩලය වෙනුවෙට ආර්ථික කොමිසමක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත්, ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන වෙළෙඳ කලාප මෙන්ම අලුතින් ඇති කරන වෙළෙඳ කලාප ඒ යටතේ පාලනය කෙරෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම ජාතික නිෂ්පාදන කොමිෂම ඇති කිරීම, සංචාරක ව්‍යාපාරයට අදාළ නව නීතියක්, දේශුගණික විපර්යාස වළක්වා ගැනීම පිළිබඳ නීතියක්, නව පරිසර නීතියක්, සිංහරාජ, ශ්‍රීපාද අඩවිය, හෝට්න් තැන්න, වස්ගමුව වැනි ජාතික වනෝද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති ගෙන ඒමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. එමෙන්ම වාණිජ දෙපාර්තමේන්තුව අහෝසි කර නව ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථාන ඇති කර විදේශ අමාත්‍යාංශය සමග එම කටයුතු ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන්නේ 1944දී පමණ හඳුන්වා දුන් නීති බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයට ද නව නීති රැසක් හඳුන්වාදීමට කටයුතු කරන බව පැවසීය.

මෙම නීති ගෙන ඒම නැවැත්වීමට ඇතැමුන් උත්සාහ කළද පාර්ලිමේන්තුවේදී ඒවා සම්මත කර ගැනීමෙන් පසු එම නීති අහෝසි කිරීමට හෝ වක්‍රව ක්‍රියා නොකර සිටීමට කිසිවෙකුට නොහැකි වන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අර්ථ නිරූපණය කිරීමේ මුවාවෙන් රටේ නීතිය සීමා කර පාර්ලිමේන්තුවේ බලතල සීමා කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහය නිෂ්ඵල කාර්යයක් බවද පැවසීය.

1972 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස අන් තැනක නොවන බවද අවධාරණය කළ ජනාධිපතිවරයා, ජනාධිපති විධායක බලය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව තිබෙන නමුත් පාර්ලිමේන්තුව සතු බලතල පාර්ලිමේන්තුවටවත් අහෝසි කළ නොහැකි බවද අවධාරණය කළේය. ‍

කිසිවෙකුට මෙම නීති සීමා කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ව්‍යවස්ථාදායක, අධිකරණ බලතල ඉදිරියේ විභාග කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නමුත් මේවා නවත්වා දමා ජනතාවට තව දුරටත් දුක් විඳීමට ඉඩ දිය නොහැකි බවද අවධාරණය කළේය.

මෙම කටයුතු මානව හිමිකම් උල්ළංඝනය කිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් සූදානම් වනවා නම් පළමු මානව හිමිකම රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙවැන්න දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

2021- 2022 දී මෙරට ආර්ථික කඩා වැටීමට හේතු වූ කරුණු මම මෙහිදී විශේෂයෙන් සඳහන් කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් එයට හේතු වුණේ කාලයක් පුරා අප ණය වෙමින් ජිවත්වීමයි. ණය කළමනාකරණය කර ගැනීමට නොහැකි වු අවස්ථාවේ අපි රටක් විදියට කඩා වැටුණා. අපිට ණය ගෙවා ගැනීමට නොහැකි වුණේ ආදායම් නොතිබූ නිසයි. මෙය අවසන් වරට මතු වුණේ ගෝඨභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේදීයි. නමුත් මේ ණය ලබා ගැනීම ආරම්භ වූයේ ඊට පෙර සිටයි. වෙනත් රටවල මෙන් නොවෙයි අපි ණය ලබාගත්තේ වෙළඳාම් කළ නොහැකි භාණ්ඩ සඳහායි. නිදසුනක් ලෙස මහා මාර්ගවලට පමණක් සීමාවූ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් අපට ප්‍රතිලාභයක් ලබාගත නොහැකියි. නමුත් මහවැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට අපට විදුලිය ලැබුණා. ඒ වගේම කෘෂිකර්මාන්තයත් දියුණු වුණා.

රටට මුහුණ දීමට සිදුවූ මෙම තත්ත්වයට සියලුදෙනා වගකිව යුතුයි. කිසිවෙකුට මෙයින් පැන යන්න බැහැ. දැන් අප සියලුදෙනා හමුවේ තිබෙන්නේ මෙතනින් ඉදිරියට යාමයි. අද අපි ණය ගෙවීමට බැරි තත්ත්වයකයි සිටින්නේ. ඒ නිසා අපි සාකච්ඡා කරමින් සිටින්නේ 2026-2027 වන තෙක් ණය ආපසු ගෙවීමට සහන කාලයක් ලබා ගැනීමටයි. ඒ සමඟම තවත් කරුණු ගණනාවක් තිබෙනවා.

2022 වසරේදී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3%යි. අපි 2023 වසරේදී එය 10.9%ක් බවට පත් කරගත්තා. නමුත් එයින් අපේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් සිදු වුණේ නැහැ. එය සෘණ 2%ක් ලෙස පැවතියා.
මේ වසරේදී එය 13.1%ක් බවට පත් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. එවිට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් සිදු වෙනවා. 2028 වසර වන විට එය 15.2%ක් බවට පත්කරගත හැකියි. 8.3% සිට 15.2%ක් දක්වා ගෙන යනවා කියන්නේ 175%ක පමණ වැඩිවීමක්.

පළමු වතාවට අපේ ප්‍රාථමික අයවැයෙන් 2023 වසරේ 6.7%ක අතිරික්තයක් ලැබුණා. අප එය 2.3% දක්වා ගෙන යා යුතුයි. ඒ වගේම අයවැය හිඟය 2022 වසරේ 10.2%යි. අපි එය 2028 වන විට 3.9%ක් දක්වා ගෙන යා යුතුයි. මේවා පහසු කටයුතු නොවෙයි. එයයි අපට තිබෙන අභියෝගය. ඒ වගේම අපේ ණය ප්‍රමාණය 2022 වසර වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 128%යි. 2032 වන විට එය දළ දේශීය නිෂ්පාදිතය 95%ක් බවට පත්කරගත යුතුයි. අපි 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 35%ක ණය ලබාගත්තා. එය 13% දක්වා පහත අගයකට ගෙන ඒමට අවශ්‍යයි.

අප ගත යුතුව තිබෙන පියවර මෙසේයි. අප මේ සමඟ ඉදිරියට යාමට නම් රටේ ආර්ථිකය පරිවර්තනයකට ගෙන යා යුතුයි. එහිදී දේශීය ආර්ථිකයේ සිට අපනයන ආර්ථිකයක් කරා ගමන් කළයුතුයි. අපිට දැන් ආනයන කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය නැහැ. අපි තරගකාරී අපනයන ආර්ථිකයකට යා යුතුයි. ඒ සමඟම ඩිජිටල් සහ හරිත ආර්ථිකයකට යොමු විය යුතුයි.

මෙම නව ආර්ථිකය ඇති කිරීමේ දී නව නීති අවශ්‍ය වෙනවා. යුරෝපීය වාණිජ ක්‍රමය ඇති කළේ ඕලන්ද සමයේදීයි.

රෝමානු – ඕලන්ද ක්‍රමය අදත් අපේ නීතියේ කොටසක්. 1835 සුදු ජාතීන් පැමිණ අලුතෙන් ආර්ථිකය විවෘත කළා.

ඉන්පසුව ඔවුන්ගේ නීතිය ගෙනාවා. 1970 පත් වූ ආණ්ඩුව සමාජවාදී පාලන ආර්ථිකයක් ඇති කළා. ඒ සඳහාත් අලුත් නීති ගෙන ආවා.

1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නා. එහිදීත් නීති හඳුන්වා දුන්නා. ඒ අනුව මේ නව ආර්ථික වැඩසටහන වෙනුවෙනුත් නව නීති හඳුන්වා දිය යුතුව තිබෙනවා.

දැනට ආණ්ඩුව ගෙන ඇති පියවර දෙස බැලූ විට පසුගිය මාස 14ක කාලය තුළ නීති 42ක් ගෙනවිත් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගෙන තිබෙනවා. එය වාර්තාවක්. දැන් නීතිපතිතුමාගේ ප්‍රශ්නය වී තිබෙන්නේ ඉතිරි නීති 62 ක ඉදිරිපත් කරන්නේ කෙසේද කියායි. ඒකට පාරිලිමේන්තු ඡන්දය කල්දාන්නේ නැහැ. මෙවර නොහැකි වන දේ ඉදිරි පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීම සිදු වෙනවා. මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියහොත් ඊළඟ වසර කිහිපය තුළ අලුත් ආර්ථිකයක් ඇතිවන අලුත් නීති පද්ධතියක් එනවා.

වරාය නගර නීතිය වෙනුවට අපි අලුත් නීතියක් ගෙන එනවා. අක්වෙරළ ආර්ථිකයක් ඇති කිරීම එහි අරමුණයි. අක්වෙරළ ආර්ථිකයක් ඇති කළ විට ලංකාවේ නීතියෙන් එම වැඩකටයුතු කරන්න බැහැ. අක්වෙරළ ආර්ථිකය ඇති බල ප්‍රදේශය තුළ එක්සත් රාජධානියේ වාණිජ නීති ක්‍රියාත්මක වෙනවා.

මෙම නීති ක්‍රියාත්මක කිරීමට නව නීතිඥයින් පිරිසක් සිටිය යුතුයි. ලෝකය පිළිගන්නා නීති අප හඳුන්වාදිය යුතුයි.

මොකද අපේ නීති ලෝකය දන්නේ නැහැ. රට දියුණු කිරීමට නම් අප එම මාර්ගයේ ගමන් කළයුතුයි.

ඒ වගේම අපි වාණිජ්‍ය කටයුතුවල නිරත රාජ්‍ය ආයතනවල ව්‍යුහය වෙනස් කරනවා. රජයේ සංස්ථා සියල්ලම සමාගම් බවට පත් කරනවා. ඒ සමාගම්වල කොටස් සියල්ලම ප්‍රධාන සමාගමකට භාර දෙනවා. එසේ නම් වාණිජක්‍රමය අනුව අප ක්‍රියාත්මක විය යුතුයි.

සමාගම් පනතේ පොදු සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට තිබෙන වගකීම් මේ අයට තිබෙනවා. වැරැද්දක් කළ විට දඬුවම් ලබාදිය හැකියි. ඒ වගේම රාජ්‍ය පුද්ගල හවුල් ව්‍යාපාර පිළිබඳ නීති ගෙන ඒමට ද අප බලාපොරොත්තු වෙනවා.

පොදූ මූල්‍ය කළමනාකරණ පනතක් අලුතින් ගෙන එනවා. ඒ වගේම පොදු ණය කළමනාකරණ පනතක් ගෙන එනවා. එමෙන්ම කෘෂිකර්ම නවීකරණ පනතක් අලුතින් ගෙන එනවා. මෙම ඉලක්ක කරා යාමට ආර්ථික පරිවර්තන පනතක් ගෙන එනවා. එහිදී දැන් තිබෙන ආයෝජන මණ්ඩලය වෙනුවෙට ආර්ථික කොමිෂමක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන වෙළඳ කලාප සහ අලුතින් ඇති කරන වෙළෙඳ කලාප ඒ යටතේ පාලනය වෙනවා.

ඒ වගේම අපි ජාතික නිෂ්පාදන කොමිෂම ඇති කරනවා. අපේ නිෂ්පාදන වැඩි කළේ නැත්නම් අපට ලෝකය සමඟ තරග කරන්න බැහැ. ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය ස්ථාපිත කරනවා. මේවා වෙන වෙන කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරනවා නම් ශ්‍රෙෂ්ඨාධිකරණයට විටින් විට එය ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. දැන් මෙය එකවර ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා.

රජයේ දේපළ භාර කිරීමට වගේම සංචාරක ව්‍යාපාරය පිළිබඳ නව නීතියක් ගෙන එනවා. දේශගුණික විපර්යාස පිළිබඳ නීතියක්, නව පරිසර නීතියක්, සිංහරාජය, ශ්‍රීපාද අඩවිය, හෝට්න් තැන්න, වස්ගමුව වනෝද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති ගෙන ඒමට අපේක්ෂා කරනවා. ඒ වගේම වාණිජ දෙපාර්තමේන්තුව අහෝසි කර නව ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථාන ඇති කර විදේශ අමාත්‍යාංශය සමඟ එම කටයුතු ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයට නව නීති කිහිපයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. වෘත්තීය අධ්‍යාපනය එක් අධිකාරියක් යටතට පත් කිරීමට වගේම, නව තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමටද කටයුතු කරනවා. ඒ වගේම සෞඛ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. අපට තිබෙන්නේ 1944 දී හඳුන්වාදුන් අධ්‍යාපන නීති. ඒ වන විට අපි කිසිවෙක් ඉපදිලාවත් නැහැ. ඒ නිසා නව නීති මඟින් මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. නව සමාජයකට, නව ආර්ථිකයකට යා යුතුයි. නැවත මෙවන් අර්බුද මතු නොවන හොඳ රටක් බවට ලංකාව පත් කළ යුතුයි.

අපේ මෙම කටයුතු අනුව තමයි රටේ ඉදිරි ගමන තීරණය වන්නේ. කඩා වැටුණු රට ඔසවා තැබීමට අපට වසරක් වැනි කෙටි කාලයක් තුළ හැකියාව ලැබුණා. මෙම වසරේඅප්‍රේල්, මැය මාසය වන විට අපේ රටේ බංකොළොත්භාවය නීත්‍යානුකූලව අවසන් වෙනවා. නමුත් ලබාගත් ණය ගෙවිය යුතුයි. එම ගිවිසුම ක්‍රියාත්මක කළයුතුව තිබෙනවා.

මේ පිළිබඳ නීති අපි පාර්ලිමේන්තුව ගෙන එනවා. එම නීති ගෙන ආ පසු ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොස් ඒවා විභාග කර ඉන් පසුව ඒවා සම්මත කර ගෙන ඉදිරියට යනවා. මෙම නීති නැවැත්වීමට ඇතැම් අය උත්සාහ කරනවා. නීතියක් සම්මත කර ගැනීමෙන් පසු එම නීති නැවත අහෝසි කිරීමටවත්, වක්‍රව ක්‍රියා නොකර සිටීමටවත් බැහැ. ඇතැම් නීතිඥයන් උත්සාහ කරන්නේ අර්ථ නිරූපණය කිරීමේ මුවාවෙන් රටේ නීතිය සීමා කර පාර්ලිමේන්තුවේ බලතල සීමා කිරීමටයි. එය සිදු කළ නොහැකියි.

මේ රටේ පාර්ලිමේන්තුවේ බලය තිබෙන්නේ 1972 දී ඇති කළ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුවයි. ඊට පෙර තිබුණේ බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවක්. ඒ අනුව 1970දී ඒ ආණ්ඩුව වරමක් ලබාගත්තා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ගෙනවිත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට. එම ව්‍යවස්ථාවෙන් කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා එකඟ වුණා ජනතා පරමාධිපත්‍ය ජාතික රාජ්‍ය සභාවෙන් පාරිලිමේන්තුවේ ක්‍රියාත්මක කිරීමට.

ඒ අනුව විධායක බලතල තිබුණේ පාර්ලිමේන්තුවටයි. කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකියනු ලැබුවා. ව්‍යවස්ථාදායක බලය වගේම අධිකරණ බලයත් පාර්ලිමේන්තුවට ලබා දුන්නා. ඒ යටතේ අධිකරණයේ කටයුතු ක්‍රියාත්මක කරගෙන ගියා. එය සකස් කළේ කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා. එතුමා කිව්වේ අපි කටයුතු කරන්නේ ඉංග්‍රීසි නීතිය අනුව කියලා.

1977 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් විට එය වෙනස් වුණා. ඒ අනුව ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයෙකුට භාර දුන්නා. අනිත් කරුණු වෙනස් කළේ නැහැ. ඒ වගේම සර්ව ජන ඡන්ද බලය සහ පාර්ලිමේන්තුව තමයි ඉදිරියෙන් තිබුණේ. ඒ වගේම මුලික අයිතිවාසිකම් ඊට ඇතුළත් කළා. පාර්ලිමේන්තුව මඟින් තමයි මෙම වැඩකටුතු සිදු කිරීමට තිබුණේ.

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත් කළ විට කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වග කියනවා. එය වෙනස් වුණේ නැහැ. ඒ අනුව දැන් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස වෙන තැනක නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ බලයයි, මූලික බලයයි, සර්ව ජන ඡන්ද බලයයි පළමුව තිබෙනවා. අනෙක් සියල්ල දෙවනුවයි තිබෙන්නේ. ඒ වගේම ජනාධිපති ලෙස අද විධායක බලතල මට තිබෙනවා. එය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවේ බලතල අහෝසි කිරීමට පාර්ලිමේන්තුවටත් නොහැකියි.

එදා කොල්වින් ආර් ද සිල්වා මැතිතුමා පාර්ලිමේන්තුවෙන් සමාජවාදය ගෙනාවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය ගෙනාවා. ඒ අයුරින් අපිත් උත්සාහ කරන්නේ මේ මාවතේ ඉදිරියට යාමටයි. එදා කොල්වින් ආර් ද සිල්වා මැතිතුමාත්, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාත් රාජකීය විද්‍යලයේ එක් පන්තියක අධ්‍යාපනය ලැබු අය. ඔවුන් එකවගෙයි සිතුවේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය හැමදාම පිළිගත්තා.

එසේනම් අපිත් දැන් එක්සත් රාජධානියේ අධිකරණය අනුව කටයුතු කරගෙන යා යුතුයි. කිසිවෙක් උත්සාහ කරනවා නම් මේවා සීමා කිරීමට එසේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක, අධිකරණ බලතල ඉදිරියේ මේ පිළිබඳ විභාග කළ හැකියි. මේවා නවත්වන්න බැහැ. ජනතාවට තවත් දුක් විදින්න ඉඩ දෙන්න බැහැ.

මේවා මානව හිමිකම් කියලා කියනවා නම් පළමු මානව හිමිකම ජනතාවගේ ජීවත් වීමේ අයිතියයි. දෙවන මානව හිමිකම තමයි තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දීම. අනිත් දේවල් ඊට පසුවයි තිබෙන්නේ. තමන්ට අවශ්‍ය දේශපාලනය කරන්න. නමුත් මේ පරිවර්තනය සිදු විය යුතුයි. නැත්නම් මේ රටට අනාගතයක් නැහැ. ඒ සඳහා තමයි මම ඔබතුමන්ලාගේ දායකත්වය ඉල්ලා සිටින්නේ.

නීතිපති සංජය රාජරත්නම්, හිටපු නීතිපති තිලක් මාරපන, ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා, නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක යන මහත්වරු සහ තරුණ කටයුතු සහ තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.