දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කලාපීය සහයෝගීතාව අත්‍යවශ්‍යයි – ජනපති පවසයි

දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් ගනු ලබන සහයෝගිතා ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය හිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ වෙනුවෙන් ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත්, ආසියානු කලාපයේ මෙන්ම අප්‍රිකානු කලාපයේද දේශගුණික අභියෝගවලට මුහුණ දීම සඳහා එමඟින් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම පසුගියදා ඩුබායි හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ (COP 28) දී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ “නිවර්තන කලාපීය මුලපිරීම” යෝජනාව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ  (06) පැවති 2024 දකුණු ආසියානු හයිඩ්‍රොමෙට් සංසදයේ (South Asia Hydromet forum 2024) සමාරම්භක අවස්ථාව අමතමිනි.

ලෝක බැංකුව සහ RIMES අතර සහයෝගීතාවක් වන හයිඩ්‍රොමෙට් සංසදය කලාපීය සහයෝගීතාව සහ ධාරිතාව වැඩි දියුණු කිරීම හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “කලාපීය සහයෝගීතා විවර කිරීම” යන තේමාව යටතේ අද සිට පෙබරවාරි 08 වැනිදා දක්වා කොළඹදී පැවැත්වේ.

ආසියානු කලාපය කාබන් අවශෝෂක ප්‍රදේශයක් බවට පත් කිරීම මඟින් තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශය දිරිමත් කරනු ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ සඳහා කලාපය පුරා පවතින අවස්ථාවන් ගවේෂණය කිරීම සඳහා ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) ක්‍රියාකාරීත්වය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සහ අදාළ රටවල් නිවර්තන කලාපයේ දේශගුණික විපර්යාස සම්බන්ධ මුලපිරීම පිළිබඳ වාර්තා කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පිහිටුවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

COVID-19 වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෑතකදී මුහුණ දුන් අභියෝග මධ්‍යයේ වුවද කාලගුණ විද්‍යා සංවිධාන වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විශේෂයෙන් දකුණු ආසියාව, කාලගුණික විපර්යාසයන්හි අහිතකර බලපෑම්වලට දැඩිව මුහුණ දෙන බැවින් දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දේශගුණික විපර්යාස හේතුවෙන් අඩු ආදායම්ලාභී රටවල දළ දේශීය නිෂ්පාදිතය 2% දක්වා අඩු විය හැකි බැවින් එම ආර්ථික ප්‍රතිවිපාක කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සඳහා පියවර ගැනීමේ හදිසි අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අනපේක්ෂිත වර්ෂාපතනය පිළිබඳ ශ්‍රී ලංකාවේ මෑත කාලීන අත්දැකීම් විස්තර කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ හිමාලයේ අයිස් කඳු දියවීමේ අවදානම ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ සියලුම රටවලට බලපෑම් ඇති කරන බවයි.

ඉතිරිව පවතින අභියෝගවලට මුහුණ දීම සඳහා ‘පාඩු හා හානි අරමුදල’ (The Loss and Damage Fund) පිහිටුවීම වැනි විභව අරමුදල් යාන්ත්‍රණයන් මෙන්ම අරමුදල් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් පවතින අභියෝගකාරී තත්ත්වය පිළිබඳවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දැක්විය.

නිවර්තන කලාපය තුළ දේශගුණික විපර්යාස අවම කිරීමේ උත්සාහයන් සඳහා ආයෝජනය කිරීමට කැමති රටවල් සඳහා ණය සහන ඇතුළු විකල්ප මාර්ග සොයාබැලිය යුතු බවත්, නිවර්තන කලාපයේ මේ සඳහා පවතින අවස්ථාවන් අවබෝධ කර ගැනීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

හයිඩ්‍රොමෙට් සංසදය දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා වන නව්‍ය විසඳුම් සහ මුලපිරීම්වලට හේතු වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා අදහස්වලින් සහ දැනුමින් දායක වන ලෙසද ඊට එක්ව සිටි සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

දකුණු ආසියානු හයිඩ්‍රොමෙට් සංසදයේ සම සභාපති සහ භූතානයේ ජාතික ජල විද්‍යා හා කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කර්මා දප්චු, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ දිනා උමාලි ඩෙයිනින්ගර්, ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානිය සඳහා මහකොමසාරිස් ඇන්ඩ්‍රෘ පැට්‍රික්, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය ඒකාබද්ධතා අධ්‍යක්ෂ සිසිල් ෆෘමන් සහ ලෝක කාලගුණික සංවිධානයේ මහලේකම් සෙලෙස්ටෙ සවුලෝ යන මහත්ම මහත්මීන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.